Saturday, April 20, 2024
Follow Us
Body cream    1

ඔයා ඇසුරු කරන කාගේ හරි කටින් පිට වෙලා තියෙනවද "ඔයා ළඟ හරි සුවඳයි" කියලා


මාව අගය කිරීම් අතරින් මම අහන්නම ආස අගය කිරීමක් තමයි ඒක . "ඔයා ළඟ හරි සුවඳයි. මම ඒ සුවඳට හරි කැමතියි" ඕක ලිංගික සහකරුවා ගෙන් අහන්න ලැබෙන එක ඊටත් වඩා සතුට දනවන දෙයක්.
ඉතින් මේ සුවඳට ඉන්න කියන කාරණාවේදී අපට පාවිච්චි කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා . සුවඳ සේදුම්කාරක , fabric conditioner , parfums සහ body cream .
මගේ ලිපි කියවන ඔයාලා දැනටමත් දන්නවා මම දශක කිහිපයක ඉදලම මුළු ඇගේම cream ගාන කෙනෙක්ය කියල. ඒකෙන් මට වෙච්ච වාසි ගොඩක් තියෙනවා. කොටින්ම මූනේ ක්‍රීම් එකක් ගෑවේ නැතත් බෙල්ලෙ ඉඳලා කකුලේ ඇඟිලි දක්වාම අනිවාර්යෙන්ම ගෙදරින් එළියට ගියත්, ගෙදර හිටියත් උදේ ඇඟ පිරිසිදු කරලා අනිවාර්යෙන් මම body cream පාවිච්චි කරනවා. ඒක බොහෝවිට නෑවට පස්සෙ.
රාත්‍රී කාලයේ දී මම බොඩි ක්‍රීම් පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඇඟේ තියෙන සිදුරු (pores )පරිවෘත්තීය ක්‍රියාවලි පහසු වීමට යම් කාලයක් නිදහස්ව පැවැතිය යුතු නිසා. ඒක නිදහස්කිරීමට වඩාත් සුදුසු රාත්‍රී කාලයයි. මොකද ශරීරය සැහැල්ලු වීමට, විවේකයට සහ අලුත්වැඩියාවට බාධාවක් නැතුව තියෙන්නේ රාත්‍රි කාලයේ නිසා.
ඒ වගේම අපි වැඩිපුර දුහුවිලි වලට මුහුණ දෙන්නෙ දහවල් කාලයේ. එතකොට ඒවා කෙලින්ම සමේ නොගැටී ක්‍රීම් එක මත රැඳෙනවා. ඒකෙන් සම ආරක්ෂා වෙනව. සාමාන්‍යයෙන් මම ගෙදර වායු සමීකරණ පාවිච්චි කරන්නේ නැහැ. නමුත් රූපලාවණ්‍යාගාරයේදී වායුසමීකරණය නිසා සමට වෙන හානිය පවා මගහැරෙනවා. ඒ වාගේම තමයි විදුලි පංකා නිසා සමට ඇති වන හානියත්. මේ සියලු කාරණා වලට වඩා මම කැමතිම අරමුණ තමයි මගේ ළඟින් යන කෙනෙකුට, මාව ළඟින් ඇසුරු කරන කෙනෙකුට මගේ ශරීරයෙන් දෑනෙන ඒ ඉමිහිරි සුවඳ නිසා ඇති වන ආකර්ෂණය.
දවසක් රාත්‍රියේ දී මම රූපලාවණ්‍යගාරයේ වැඩ නිම වෙලා ගෙදර යන්න නැගපු ත්‍රීවීල් එක පදවපු කෙනා ටික දුරක් යද්දි මගෙන් අහනවා මිස් වැඩකරන්නෙ සැලොන් එකකද ? මම ඔව් කිව්වහම එයා කිව්වා ඒක තමයි මම හිතුවා සුවදෙන්ම. මම ඇහුවා ඒ කොහොමද සුවදින් කියන්නේ කියලා. නෑ මිස් සැලොන් කරන අය ත්‍රීවිල් එකට නැග්ගම හරිම සුවඳයි. බැහැලා ගියත් ඒ සුවඳ ටික වෙලාවක් තියෙනවා කියලා. (ඒ රියදුරා දන්නේ නැහැ මම රූපලාවන්‍යාගාරයක වැඩ කරන බව) සැලොන් කරන අනිත් අයත් සුවඳට ඉන්නවද කියලා මම දන්නෙත් නෑ. අපේ සමූහයේ රූපලාවන්‍යාගාර හිමිකාරියන් ඒ ගැනත් මෙතන සදහනක් දාන්න.
ඒ වර්ණනාව බොරු උනත් ඇත්ත උනත් මම කල්පනා කල එක දෙයක් තියෙනවා. උදේ නාලා සැලෝන් එකේ වැඩ කරපු මම හවස ත්‍රීවිල් එකට නගිනකල්ම මගේ ඇඟෙන් හමන සුවඳ තව කෙනෙකුට දැනුනා කියන්නේ මට සතුටු හිතෙන කාරණාවක්. සුවඳ විලවුන් වුණත් මම උදේ ගෑවට පස්සේ නැවත ඒක පාවිච්චි කරන පුරුද්දක් මට නැහැ හදිස්සියේ එලියට යන්න වුනොත් ඇර. ඒ වගේම තමයි මම නිවසේදී සුවඳ විලවුන් පාවිච්චි කරන්නේ නැහැ. දවස පුරා මගේ ශරීරයේ සුවඳ රැඳීමට හේතුව හැටියට මම දකින්නේ body cream ආලේප කිරීම කාලයක් තිස්සේ දිනපතා කිරීම නිසා මගේ සමේ ස්ථර කිහිපයකට මේ සුවඳ යම් තරමකට තැන්පත් වෙලා, කාවැදිලා තියෙන නිසා කියලයි.
කොහොම වුණත් දිවා කාලයේදී ගැහැනියක්වන ඔයාගේ ශරීරයෙන් සුවඳක් නිකුත් වෙනවා නම් ඒකට ගෙදර ඉන්න අයත්, ගෙදරින් පිට ඉන්න අය කියන කවුරුන් තුළත් ඔයා ගැන පැහැදීමක් ඇති කරවන, ආකර්ෂණීය හැගීමක් ඇති කරවන දෙයක්. හුඟක් අය කියලා තිබුණා එයාලා body cream පාවිච්චි කරන්නේ එලියට යනකොට විතරයි කියලා. එළියේ මිනිස්සු සතුටු කරන්න කලින් තමන්ගේ ගෙදර අය සතුටු කරන්න ඕනෑනේ. ඔයාගෙ සුවඳ දැනෙන්න ඕනේ එළිය මිනිස්සුන්ට විතරද ?. වඩාත් සතුටු කළ යුත්තේ සහ පිනවිය යුත්තේ ගෙදර අයව නෙමෙයිද?.
ශරීරයෙහි ආලේපන ගැල්වීම සුළු කොට තකන්න එපා. මොකද සුවඳ කියන එක ගැහැනියකට උරුම කාරණාවක්. පිරිමියෙකුගෙ ඇගෙන් මම ඒ තරම් සුවඳවල් එනවට කැමති නෑ. එහෙම එනවා නම් හොඳ masculin perfume එකක් සහ ස්වභාවිකවම පිරිමියෙකුට උරුම ලේ නහරවලින් එන ශක්තිමත් පිරිමි සුවදට තමයි මම කැමති. තමන් ආදරය කරන කෙනාව ඉඹලා ඔහුගේ මූණ බලාගෙන කියන්නකො බලන්න "ඔයා ළඟ හරිම පිරිමි සුවඳයි කියලා" ඒ කෙනා ඔයාව ජීවිතේට අමතක කරන එකක් නැහැ.
ඒ වගේම මෙතන කියන්න ඕන විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි මගේ දරු ප්‍රසුතියෙන් පසු මගේ උදරයේ සමට වෙච්ච දේ. සිසෙරියන් සැත්කමකින් දරුවා එළියට ගත්තට පස්සේ ප්‍රමාණයෙන් තිබුණ තත්ත්වයට පත් වෙච්ච මගේ බඩ අසාමාන්‍ය ලෙස රැලි වැටිලා තියෙනවා මම දැක්කා. ඒක අවුරුදු 80 - 90ක ආච්චි කෙනෙකුගේ වගේ. මම දරුවා ලැබෙනකල්ම දිනපතා නාලා සුපුරුදු විදිහටම මුළු ඇඟේම ක්‍රීම් ගාපු කෙනෙක්. ඇත්තටම මගේ බඩ ඒ විදියට තියෙනවා දැක්කම මටම බය හිතුනා ඒක සදහටම මෙහෙම තිබුනොත් කියලා. නමුත් දරුවා ලැබිලා සතියක් පහු වෙද්දි සර්පයන් හැව අරින ආකාරයට මගේ බඩේ තිබුන අර රැලි වැටිලා කැත වෙච්ච වයසක හම ගැළවී යන්න පටන් ගත්තා. දින කීපයකට පස්සෙ මට ලැබුණේ තිබුණාටත් වඩා ලස්සන, පැහැපත් ස්ට්‍රෙච් මාර්ක් එකක්වත් නැති ලස්සන බඩක්. ඒක අදටත් එහෙමමයි. මම හිතනවා ඒ වාසිය ලැබුණේ මම දිනපතා හොඳ කෑම කන ගමන් හොඳට වතුර බොන ගමන් ආලේපන පාවිච්චි කළ නිසයි කියලා.
ඉතින් බොඩි ක්‍රීම් එකක් පාවිච්චි කිරීමෙන් සමේ තෙතමනය රැක දීම කියන කාරණාවට අමතරව සම සුසිනිදු බව එක්ක හොඳ ප්‍රමිතියෙන් යුතු බොඩි ක්‍රීම් එකක් පාවිච්චි කිරීම නිසා ඔයාගේ ශරීරයෙන් හමන සුගන්ධය ජීවිතයට ලොකු වටිනාකමක් එකතු කරනවා . ලිපියේ ඉතිරි කොටස හෙට ගේන්නම්.

(Beauty Secrets with Rapunzel)