Thursday, April 25, 2024
Follow Us
Get rid  of your warts

ඉන්නන් ගැන අහපු ප්‍රශ්නයට ඔයාලා දක්වපු ප්‍රතිචාර අනුව මට තේරුනේ ගොඩක් අයට ඒ ප්‍රශ්නය තියෙන බවයි. මේ ඉන්නන් රූපලාවන්‍ය පැත්තෙන් ගනිද්දී රූපය අවලස්සන කරන දෙයක් වගේම ඔයාගේ පිරිසිදු පෙනුමට බාධා කරන දෙයක්. ඒ කියන්නේ ඔයා කොච්චර නාල පිරිසිදු වෙලා හිටියත් සම මතුපිට ඉන්නන් ඉන්නවනම් පෙනෙන්නේ අපිරිසිදු පෙනුමක්. ඇත්තටම සමහර වෙලාවට සම්බන්ධකම් වලට පවා මේක සෑහෙන්න නරක විදියට බලපාන්න පුළුවන්. මොකද ඔයාලගේ ඇඟේ සාමාන්‍යයෙන් නොපෙනෙන තැනක ඉන්නන් තිබුනොත් ඕක දකින්න වෙන්නේ ඔයාගේ ලිංගික සහකාරයාට හෝ සහකාරියටනේ. පිටත පෙනුම හොඳ වෙලා ඒකට ආසවෙලා ඉන්පස්සෙ ඇතුළෙ ඉන්නො දකිද්දි අවුල් වෙන්න බැරි කමක් නෑ ?


ඉන්නන් නිසා බාහිර සමාජයීය සම්බන්ධතා වලට වෙන බලපෑම අති මහත්. ඇත්තටම කිසිම පාට්නර් කෙනෙක් කැමති වෙන එකක් නැහැ ඉන්නත් එක්ක ගනුදෙනු කරන්න. මට ඒක අපිරිසිදු අප්පිරිය හැඟීමක්. ඉතින් මම අකමැති නිසා මම බොහොම පරිස්සම් මගේ ඇඟේ කොතන හරි ඉන්නෙක් යාන්තමට හරි දැක්කොත් ඒ දැක්ක සැනින් එයාව ඉවත් කරලා දාන්න. එහෙම දකින දකින සැරේට ඉවත් කරන නිසාද දන්නේ නැහැ දැන් එහෙම ඉන්නන් මතු වෙන්නෙත් නෑ.
ඔයාට ඔයාගේ ඉන්නා ආදරණීය උනාට ඔයාව ළඟින් ආශ්‍රය කරන අයට ඒක අප්පිරිය දෙයක් බව නම් මට ස්ථිරයි. ඒත් ඒක ඔයාගෙ මූණට කියාගන්න බැරුව කාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් ඉන්නන් නැති ඇඟකට ඉබේම වශී වෙලා යන්නත් පුළුවන් ?. මතක තියාගන්න තමන්ගෙ සහකරුගේ කටේ ගඳ නිසා දික්කසාද වෙච්ච අයත් ඉන්න බව.
හුඟක් අය අහල තිබුණා ඇයි මේ ඉන්නන් එන්නේ කියලා. ඉන්නන් කියන්නේ අපේ ඇඟන්ම මතු වෙන virus එකක ප්‍රතිඵලයක් [Human Papilloma Virus (HPV)]. ඉතින් මේක බොහෝ විට ජානමය දායාදයක්. මගේ අම්මගේ තියෙන නිසා මගේ තියනවා. ඔයාට ඉන්නන් තියෙනවා නම් ඒක බොහෝවිට පරම්පරාවේ කාටම හරි තිබිලා තියෙනවාමයි. ඒක අම්මා තාත්තා ම වෙන්න ඕනේ නෑ. virus එක ඇඟේ තියෙන හැමෝටම ඉන්නන් මතු වන්නේ නෑ. Covid 19 වගේ තමා. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනස්කම් අනුව ඉන්නන් මතු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.
ඇඟේ විශාලතම ඉන්ද්‍රිය සමනේ. සම හිස් මුදුනේ සිට යටි පතුල දක්වා තිබෙනවා. ඒ නිසා සමේ කොතනින් වුවත් ඉන්නන් මතු වෙන්න පුළුවන්. ඒ වගේම බොහෝවිට මේ ඉන්නන් අහිංසකයි, පිළිකා බවට පත් වන්නේ නැහැ. නමුත් ඉන්නන් මතු උනාට පස්සේ ඒවා අපේ ශරීරයේ පැතිරෙනවා වගේම ලොකු වෙන්නත් පුළුවන්. ඒ වගේම එකිනෙකා අතර ස්පර්ශයෙන් බෝවීමේ ප්‍රවණතාව අඩු වුණත් ඉන්නන් කැඩුණ ලේ හෝ සැරව වලින් තමන්ගේ ඇඟ පුරාම වගේම අනිත් අයට මේක බෝ වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි සැලොන් එකකට ගියත්, රෝහලකට ගියත්, තවත් කෙනෙක්ගේ දේවල් පාවිච්චි කරද්දි වුණත් පරිස්සම් විය යුතු. නිසි ලෙස ජීවානුහරණය කරන ලද උපකරණ තමයි රූපලාවණ්‍යාගාරයක වුණත් නිතරම පාවිච්චි කළ යුත්තේ. එහෙම නැත්නම් නැති ලෙඩ බෝ කරගෙන යන්න පුළුවන් වේවි.
කොහොම වුණත් ඉන්නන්ගේ ප්‍රමාණය සහ ඉන්න තැන අනුව ඒවාට කියන නම් වෙනස් වෙනවා.
1.Common warts
බහුලව දැකිය හැකි ඉන්නන්
ශරීරයෙහි ඕනෑම තැනක ඇතිවිය හැකි වුණත් විශේෂයෙන් දෑත් වල මෙම ඉන්නන් වර්ගය තනිව හෝ පොකුරක් ලෙස බහුලව දැකිය හැක. ප්‍රමාණයෙන් ඇල්පෙනිති තුඩේ සිට කඩල ඇටය දක්වා විය හැක. මෙම ඉන්නන් ක්‍රමයෙන් විශාල වන අතර ඉවත් කිරීමට පහසුම ක්‍රමය විද්‍යුත් ධාරාවක් මගින් හෝ ලේසර් මගින් ඉවත් කර ගැනීමයි. මුල්ම අවදියේ දී එය ඉතා පහසුවෙන් සරල ක්‍රම මගින් රූපලාවන්‍ය ශිල්පියාට ඉවත් කළ හැකියි. විශාලවන තෙක් ඇති දැඩි කළ පසු කපා ඉවත් කළ යුතුයි. එසේ විශාල වූ පසු ඉවත් කරන විදිය තීරණය කළ යුතු වන්නේ විශේෂඥ වෛද්‍යවරයකු විසින්ම යි. ප්‍රමාණයෙන් කුඩා ඉන්නන්ට වගකීමට පුහුණුව ලත් පළපුරුද්ද ඇති රූපලාවන්‍ය ශිල්පිනියකට කළ හැකියි. දෑත්වල තිබෙන ඉන්නන් මුහුණට බෝවීම ඉතා පහසුවෙන් සිදුවේ. ඒ නිසා දෑත්වල ඉන්නෙක් දුටු වහාම ඉවත් කර ගැනීම වටී.
2. Plantar warts
යටි පතුලේ ගල් තැළුම් ආකාරයට ඇතිවන ඉන්නන්.
බොහෝ අය මේවා ගල් තැලුම් ලෙස නොසලකා හරින්න පුරුදු වෙලා ඉන්නවා. ප්‍රශ්නය තිබෙන්නේ ඔබේ ශරීරයේම බර දරාගෙන සිටින නිසා ඒ බරට ඔබ ඇවිදින විට මෙම ඉන්නන් වර්ග ඔබේ සම තුළට වර්ධනය වෙනවා. ඒ නිසා මෙවැනි දෙයක් සැක සිතුනු වහාම එය ඉවත් කර ගැනීමට වගබලා ගන්න. එහෙම නැති වුනොත් ශල්‍යකර්ම පවා කරන්න සිද්ධ වේවි.
3. Flat warts
පැතලි ඉන්නන්
විශේෂයෙන් මුහුණේ ඇතිවෙන පැතලි ස්වරූපයක් ගන්නා ඉතා ඉක්මනින් සිය ගණනින් පැතිරෙන රෝස, ළා දුඹුරු හෝ කහ පැහැති ඉන්නන් වර්ගයකි. මුහුණේ පෙනුම ඉතාමත් අවලස්සන කරන අපිරිසිදු පෙනුමක් ඇති කරන ඉන්නන් වර්ගයක් නිසා සැක සිතුනු වහාම එය පැතිරෙන්නට නොදී ඉවත් කර ගැනීම වටී. රූපලාවණ්‍යාගාරවලින් ඉවත් කර ගත හැක.
4. Filiform warts
සූතිකාගාර ඉන්නන්
මුඛය, කණ, නාසය, රැවුල ආශ්‍රිතව ඇතිවෙන සමේ පැහැයට සමාන කෙඳි ස්වභාවයක් ගන්නා ඉන්නන් වර්ගයක් වන අතර එය මතුපිටට වර්ධනය වේ. ප්‍රසන්න පෙනුමක් නැති නිසා දුටු විට මෙය ඉවත් කරගන්න.
5. Genital warts
ලිංගාශ්‍රිතව පැතිරෙන ඉන්නන්
ගොනෝරියා, හර්පීස් වැනි ලිංගාශ්‍රිත ඉන්නන් බෝ වන්නේ ලිංගික ක්‍රියා තුළින්. මේවා මගින් නම් පිළිකාමය තත්ත්වයක් වුවත් ඇතිවිය හැකි නිසා අනිත් ඉන්නන්ට වඩා මේවා භයානක වේ. යම් හෙයකින් ගර්භණී මවකට මෙවැනි ඉන්නන් ඇති වී තිබේ නම් සිසේරියන් සැත්කමකින් මිස ස්වභාවික දරු උපතකට ඉඩ නොලැබේ. ඊට හේතුව සාමාන්‍ය දරු උපතක දී දරුවාට ද මෙය බෝවිය හැකි බැවිනි. කොහොම වුණත් මෙම ඉන්නන් වර්ගයට කෙසේවත් ගෙදරදී පිළියම් කළ නොහැකියි. ඒ නිසා ලැජ්ජාව පැත්තක තබා වෛද්‍යවරියක් මුණ ගැහෙන්න.
6. ඇත් දළ පැහැති ඉන්නන්
POX නැමැති වෛරසයෙන් ඇතිවන අතර බොහෝ විට මෙය කුඩා දරුවන්ගේ දැකිය හැකි රෝගයකි. වැඩිහිටි අයගේ මෙය දකින්නට ඇති වූවොත් එච් අයි වී ආසාදිතයකු ලෙස සැක කරනු ලැබේ.
7. Periungual warts
පාදවල සහ දෙඅත්ලේ නියපොතු තුළ හෝ ඇඟිලි ආශ්‍රිතව ඇතිවේ. මෙම ඉන්නන් ඉතා රළු ඉදිරියට නෙරා ගිය ස්වභාවයක් ගන්නා අතර නියපොතු වල වැවීමට බාධා කරයි .
කෙසේවෙතත් සම මතුපිටට එන මේ ඉන්නන් අපට පණිවිඩයක් ලබා දෙනවා . ඒ අපේ ඇඟ ඇතුලේ තියෙන කුමක් හෝ අසනීපයක් ගැන.
ප්‍රතිශක්තිකරණයේ දුර්වලතා ඇති පුද්ගලයින්,
Eczema තත්ත්වය ඇති අය,
නිතර නියපොතු හපන අය
පිලිකාවක් සඳහා ඖෂධ ලබා ගන්නෙකු නම්,
එච් අයි වී ඒඩ්ස් ආසාදිතයකු නම්,
දියවැඩියාව ඇත්තෙකු නම්,
වකුගඩු ආදී අවයව බද්ධ කළ අයකු නම්,
හෙපටයිටිස් ඒ හා බී වැනි උණ රෝග වැළඳුණු අයෙකු නම්, ඉන්නන් මතු වීමේ අවදානම වැඩිය.
ඉන්නන්ගේ ස්වභාවය, තිබෙන තැන සහ විශාලත්වය අනුව ප්‍රතිකාර වෙනස් වේ.
ප්‍රතිකාර ක්‍රම
Cryosurgery
නයිට්‍රජන් දියර පාවිච්චි කර වෛද්‍යවරු විසින් ඉන්නන් නයිට්‍රජන් දියරය මඟින් අධි ශීත කර අකර්මණ්‍ය කරනු ලැබේ. මෙය එක වරක් පමණක් කර ඉන්නා ඉවත්ව නොගියේ නම් නැවත නැවත කළ යුතු වේ. යම් වේදනාවක් දැනෙන නිසා ඉතා කුඩා දරුවන්ට මෙම ප්‍රතිකාරය කරනු නොලැබේ .
Cantharidin
ඉන්නා මතුපිටින් යම් ආලේපනයක් තවරා එය වේලෙන්නට හැර ඉබේම ඉවත් වී යාමට ඉඩ සැලසීම මෙමගින් සිදු කෙරේ. කුඩා දරුවන් සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය කරනු ලබයි.
Burning and cutting
සියුම් විද්‍යුත් ධාරාවක් යවා ඉන්නා පිච්චීම හෝ කපා ඉවත් කිරීම යන ක්‍රම දෙකෙන් රූපලාවන්‍ය ශිල්පීන් භාවිතා කරන ක්‍රමය විද්‍යුත් ධාරාවක් ඉදිකටුවක් වැනි උපකරණයකින් ඉන්නා පිළිස්සීමයි. common warts , filiform warts සහ plantar warts සඳහා මෙම ක්‍රම පාවිච්චි කරයි.
අදාල ස්ථානය හිරි වැටීමකට ලක් කර මෙය සිදුකරන නිසා වේදනාව ඉතා අවමයි හරියටම ඉන්නාටම පමණක් විද්‍යුත් ධාරාව යැවිය හැකි නිසා බාහිර සමට කිසිම ආබාධයක් නැතිව මෙය පරිස්සමෙන් කළ හැකියි ඉතා පළපුරුදු ශිල්පිනියකට. එහෙම හම පිච්චෙනවා නම් ඇය එය නිවැරදිව කර නැති බව සහ පළපුරුද්දක් නැති බව හඟවනවා. මෙය රූපලාවන ශිල්පිනියකට පමණක් නොවේ වෛද්‍යවරයාට පවා පොදු දෙයක්. මගේ අත්දැකීම නම් වෛද්‍යවරු පවා ඉන්නාට වඩා පුළුස්සා දමන්නේ සාමාන්‍ය සමයි. සාමාන්‍ය සම පිච්චුනු විට එම කැළල සුවකර ගැනීමට සෑහෙන කාලයක් ගත වෙන නිසා ඉන්නා පමණක් පුළුස්සා දමන ශිල්පිනියකගෙන් හෝ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාරය කරගැනීම ඉතා වටී. කපා ඉවත් කිරීමට තරම් විශාල වී ඇත්නම් වෛද්‍යවරයකු වෙත යොමුවීම සුදුසුයි.
prescription creams
ඇතැම් අසනීප සඳහා ප්‍රතිකාර ගන්නා විට ඇතිවන ඉන්නන් සදහා ආලේපන වර්ග නියම කිරීම වෛද්‍යවරු විසින් සිදුකරනු ලබයි ඒවා පාවිච්චි කළ විට ඉන්නන් වර්ධනය වීම සිදු නොවේ.
injections
ඉහත සඳහන් ක්‍රමවලින් ඉන්නා ඉවත් නොවන්නේ නම් වෛද්‍යවරු විසින් ඖශධ වර්ග ඉන්නා තුළට විදින අතර මෙය බොහෝවිට genital warts සඳහා භාවිතා කරන ක්‍රමයක්.
ආලේපන, නික්ශේපන වගේම ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම සඳහා ගිලින ඖෂධ පවා මේ සඳහා වෛද්‍යවරු නිර්දේශ කරනවා. ඔබට ඉන්නන් තිබේ නම් එය නිතර නිතර ඇල්ලීම, යම් යම් උපකරණ පාවිච්චි කර සූරා දැමීමට උත්සාහ කිරීම, කැසීම ආදී දේවල් නොකළ යුතු අතර ගෙදරදී කරන අත් බෙහෙත් ප්‍රතිකාර නොකළ යුතුයි.
මම අහපු ප්‍රශ්නෙට ඔයාල දීපු උත්තර දැක්කම මම දැක්කා ගොඩක් අය ගෙදරදී නොයෙකුත් අත් බෙහෙත් කරන්න ගිහිල්ලා ඉන්නාව විතරක් නෙමේ මුහුණේ සම පවා පුච්චාගෙන තිබුන හැටි. ඒ කමෙන්ට් ටික කියෙව්වා නම් කවුරුවත් ගෙදරදී ඉන්නන් ඉවත් කරන්න උත්සාහ ගන්නේ නැති බව මගේ හැඟීමයි. සමහර ඉන්නන් ඉබේ ඉවත් වී යනවා. සමහරු අවුරුදු ගණන් එකම විදිහට එකම තැන ඉන්නවා.
මගේ ඉන්නන් පිච්චීම සදහා පළපුරුද්ද අවුරුදු දහයක්. මේ කාලය තුල ඕනා තරම් කාන්තාවන්ගේ මුහුණුවල ඉන්නන් මම ඉවත් කරලා තියෙනවා. ඇහැ උඩ, ඇහැ වටා පවා ඉන්නන් මම පරිස්සමෙන් ඉවත් කරල දීල තියෙනවා. ඉන්පස්සේ එයාලව දකිද්දි ඒකෙ සාර්ථකත්වය දැක්කම සතුටුයි. එහෙම ඉවත් කලාම මූණක පෙනුම හරිම පිරිසිදුයි. මට ඉවත් කළ නොහැකි ඉන්නන් සදහා වෛද්‍යවරුන් වෙත යොමු කරලා අවශ්‍ය උපදෙස් මම දීලා තියෙනවා.
ඉන්නන් ඉවත් කිරීම මහා ලොකු භයානක කාරණාවක් නෙමෙයි පුළුවන්නම් මගෙන් ඉන්නන් ඉවත් කර ගත්ත අය මේ සමූහයේ ඉන්නවා නම් ඒ ගැන තමන්ගේ අත්දැකීම කමෙන්ට් එකක් දමන්න. මගේ අතින් ඔයාලගේ හම පිච්චුනා ද නැද්ද කියන වග විශේෂයෙන් සඳහන් කරන්න. හිරි වැටීමකට ලක් කරන නිසා මහා ලොකු වේදනාවක් මේකෙදි දැනෙන්නේ නැහැ. වේදනාව දැනීමත් එක එක්කෙනාට වෙනස් නිසා වෙන කෙනෙකුට රිදුනද කියලා අහලා තමන් කරගන්න එක බොරු වැඩක්. ඉවත් කළාට නැවත නැවත මතුවෙන එක ඉන්නන්ගේ ස්වභාවය. මතුවෙන මතු වෙන වෙලාවට අයින් කරලා දාන්න.
මේ ජීවිතය ලැබුණේ සතුටින් ලස්සනට හිනාවෙලා ප්‍රියමනාපව ජීවත්වෙන්න. ඉන්නන් කියන්නේ මහා අප්පිරිය දෙයක්. ඔයාට ඔයාගේ ඉන්නා අප්පිරිය නැති වුණාට දකින කෙනාට අප්පිරිය බව මතක තියාගන්න. මොකද සමහර අයට සිද්ධ වෙනවානේ ඔයාගේ ඉන්නව අල්ලන්න අතගාන්න. ඉතින් ඔයාගේ ඉන්නා අතපත ගාන්න සිද්ධවෙන ඔයාගේ ලිංගික සහකරු හෝ සහකාරිය ගැන අනුකම්පා සහගතව හිතල හරි තමන්ගේ ඉන්නා ඉවත් කර ගැනීම වටී.
ඒකට පළපුරුදු වෛද්‍යවරයෙකු හෝ රූපලාවණ්‍ය ශිල්පිනියක් තෝරා ගැනීමට වග බලාගත්තේ නැත්නම් ඉන්නා නැතුව සාමාන්‍ය සම පිච්චිලා රෝස පැහැති සුදු පැහැති කැලැල් ඉතුරු වෙන්න පුළුවන් . දක්ෂතාවය ගැන සැක සහිත නම් ඉස්සෙල්ලාම එක්කෙනෙක් දෙන්නෙක් පුච්චාගෙන බලන්න.

(Beauty Secrets with Rapunzel)