Saturday, May 04, 2024
Follow Us
Finger and toe nails

අපේ සමූහයේ රූපලාවන්‍ය හා සම්බන්ධ කරුණු ගොඩක් සාකච්ඡා කරලා තියෙනවානේ. කකුල් සහ කකුල්වල නියපොතු ලස්සනට තියාගන්නේ කොහොමද කියන එක ගැනත් අපි සාකච්ඡා කළා. මේ දිනවල අපි සාකච්ඡා කරගෙන යන්නේ අත් සහ අත් වල නියපොතු ගැන.
ලස්සන අත්, ලස්සන ඇඟිලි, ලස්සන නියපොතු තියෙන්න ඇත්තටම වාසනාවන්ත වෙන්න ඕනේ කියලා මට හිතෙන්නේ මට එහෙම ඇඟිලි නියපොතු ලස්සනට නැති නිසා. ඒකට හේතුව මම ගොඩක් අත් කෙට්ටු කෙනෙක් වීමත්, නිවසේ වැඩපල තනියම කරගන්න කෙනෙක් වීමත් තමා. කොහොමත් කල්‍යාණ පහෙන් මාංශ කල්‍යාණය මට බින්දුවයි?. හැබැයි ඉතින් මට සැනසෙන්න කාරණාවකට තියෙන්නේ මට වඩා වයසින් අඩු අයගෙත් දෑත් එහෙම වෙලා තියනව දැක්කමයි.
කකුල් වලට වඩා අමාරුයි ගෙදරක වැඩ කරන කෙනෙක්ගෙ දෑත් පරිස්සම් කරගන්න. සැර සේදුම්කාරක සහ නිතර වතුරේ ගැටීම නිසා අතුරු ආබාධ වැඩියි. අපි මේ ගැන කලින් ලිපියක කතා කළා. අනික උයන පිහන කෙනෙක් නම් එළවළු වල කහට අත්වල රැඳෙනවා. ඒ නිසා නියපොතු ලස්සනට පරිස්සම් කරගන්න අමාරුයි. මොනවා කරන්නද ඉතින්. නමුත් පුළුවන් තරම් දකින කෙනෙකුට අප්පිරියාවක් හිතෙන්නේ නැති වෙන තරමට අත්දෙක පිරිසිදුව පිළිවෙලට තියාගන්න අපි පරිස්සම් වෙන එක සුදුසුයි.
හුඟක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා නියපොතු දිගට වවා ගන්න බැහැ දුර්වලයි කැඩිලා යනවා කියලා. නියපොත්තක් අපේ සමෙන් මිදුනාට පස්සේ කොහොමත් එහි ශක්තිය අඩුයි. අනෙක එය සමෙන් මිදෙන්නේ ඇඟෙන් ඉවත් විය යුතු නිසයි ප්‍රශ්න එන්නෙ මේ ඇඟෙන් ඉවත් විය යුතු යැයි සොබාදහම නියම කරන දේ අපි රකින්න දඟලනකොටයි.
ඇත්තටම ඒක රකින්න අමාරුයි. එහෙනම් ගෙදරදොර වැඩ නොකර ඉන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් උපතින්ම ශක්තිමත් නියපොතු අරගෙන එන්න ඕනේ. අවාසනාවට ඉතා ශක්තිමත් නියපොතු කියන්නේ ටිකක් අවලස්සන පෙනුමක් ගෙනෙන නියපොතු. හම වගේම නියපොත්තක් සිනිඳු වුණාම තමයි ඉතින් ලස්සන. සිනිදු නියපොතු ඉක්මනට කැඩෙනවා. මේවා ඉතින් විසඳන්න බැරි ප්‍රශ්න? .
කොහොම වුණත් නියපොතු කියන්නේ අපේ ශරීරය ඇතුලේ තියෙන ප්‍රශ්න එලියට පෙන්නන කණ්ණාඩියක් වගේ දෙයක්. ඇඟ ඇතුලෙ ප්‍රශ්න වෙනකොට හිසකෙස් ගැලවෙනවා, පළුදු වෙනවා, දුර්වල වෙනව කියලා ඔයාලා දැන් හොඳටම දන්නවා. ඒ වගේම තමයි ඇඟ ඇතුළේ ප්‍රශ්න තියෙනකොට නියපොතු දුර්වල වෙනවා කැඩෙනවා ඉරිතලනවා දිලීර ආසාදන පවා ඇති වෙනවා. ඉතින් අපි උත්සාහ කරමු පුළුවන් තරම් හොඳ නියපොතු ටිකක් අතේ ඇඟිලිවලට උරුම කරලා දෙන්න.
මීට කලින් ලිපියකින් මම පැහැදිලි කළා වගේ සේදුම්කාරක ලොකු මෙහෙයක් ඉෂ්ට කරනවා ඔයාගේ නියපොතු දුර්වල සහ අවලස්සන කරන්න. ඉතින් පුළුවන් තරම් සැර සේදුම්කාරක දෑත් වල ගැටෙන්න දෙන එක අඩුකර ගමු.
තෙතමනය (moisturizer ) අඩුවැඩි වීම නියපොතුවල නිරෝගි පෙනුමට බලපානවා. නියපොතු වියළිබව ඔබට දැනෙනවානම්, දෑත් සඳහාම නිෂ්පාදනය කළ තෙල් වර්ගයක් හෝ ක්‍රීම් වර්ගයක් පාවිච්චි කරලා නියපොතු සම්බාහනය කිරීමෙන් නියපොතුවලට හොඳ පෝෂණයක් ලබා ගැනීම සඳහා උත්තේජනයක් ලැබෙනවා. නමුත් නියපොතු ඉතා සිනිඳු, කැඩෙන සුළු නම් ඒවායේ තෙතමනය වැඩි ගතියක් වෙන්න පුළුවන් නිසා ඒ වගේ නියපොතු වලට වැඩිය moisturizer ආලේප කරන්න එපා.
අපි හිතනවා නියපොතුවලට රූපලාවන්‍යාගාරවලින් සත්කාර කරද්දි තියෙන සියළුම උපකරණ පාවිච්චි කරලා නියපොත්ත පණ දාගෙන මදින්න ඕනෙ කියලා. එහෙම නොකළොත් ඔයාලගේ හිතටත් අවුල්. නමුත් ඒ උපකරණ පාවිච්චි කරලා නියපොත්ත මැදීම නිසාම එය දුර්වල වෙන්න පුළුවන් බව ඔයාලා මොහොතකටවත් හිතුවද? ඔව් එහෙම වෙන්න පුළුවන්.
නියපොත්තක් එහෙම උපකරණවලින් මැදලා polish කරලා ගන්න පුළුවන් සහ සුදුසු වෙන්නේ නියපොත්ත ශක්තිමත් නම් තමයි. එහෙම නැතුව කැඩෙන සුළු සිනිඳු නියපොතු තව තවත් අතුල්ලලා ශක්තිය නැති කරනකොට ඒ නියපොත්ත එළියට ආවට පස්සෙ කොහොමත් කැඩිලා යන්න බලනවා. ඒ නිසා දුර්වල නියපොතු තියෙන ඔබ රූපලාවන්‍යාගාරවලින් සත්කාර කරගැනීමේදී නියපොතු මැදීම සඳහා පාවිච්චි කරන උපකරණ (nail buffers ) පාවිච්චි කරන්න දෙන්න එපා. හොඳින් පිරිසිදු කරල nail polish එකක් ආලේප කිරීම ඉතාමත් සුදුසුයි. එවිට යම්කිසි ශක්තියක් ඔයාගේ නියපොත්තට nail polish නිසා ලැබෙනවා. නමුත් ඒවා ඉවත් කිරීමේදී ඇසිටෝන් base nail polish remover පාවිච්චි කිරීම සුදුසු නැහැ.
ඒ වගේම වර්තමානයේ පවතින pandemic තත්ත්වයත් එක්ක අපි හැමතිස්සෙම hand sanitizers පාවිච්චි කරනවා. ඔබේ නියපොතු පරිස්සම් කරගැනීමට අවශ්‍ය නම්, ඇල්කොහොල් අඩු sanitizers පාවිච්චි කිරීමට වගබලා ගන්න. නිතර නිතර ඒවා පාවිච්චි කලොත් නියපොතුවලට හානි වෙන්න පුළුවන්. නියපොතු මඟහැර ඒක කරන්නත් බැරි නිසා nail polish හොඳ විසඳුමක් වේවි.
පැරපින් වැක්ස් සත්කාරයක් කකුල් සහ අත්වලට ඉතා හොඳ ප්‍රතිකර්මයක්. ඒ ගැන විස්තර වෙනත් ලිපියකින් ගෙන එන්නම්.
මෙහෙම සත්කාර කරලා පරිස්සම් වෙලත්, ඔයාගේ නියපොතු ඔයාට ප්‍රශ්නයක් වෙලා නම්, හොඳින් මතක තියාගන්න ඒ කියන්නේ ඔයාගේ ඇඟ ඇතුලෙ ප්‍රශ්නයක්. අපේ ශරීරය තනිකරම මැෂින් එකක් කියලා ඔයාලා දන්නවනේ. ඒ මැෂින් එකේ කොහේ හරි තැනක වැරැද්දක් තියෙනවනම් එළියට එන දේවල්වලින් තමයි අඩුපාඩු පෙන්නන්නෙ. පහත සඳහන් අසනීප කීපය ප්‍රධාන වශයෙන් හේතු වෙනවා ඔයාලගේ නියපොතු දුර්වලවීමට.
Raynaud's syndrome
මෙය ඉතාමත් කලාතුරකින් ඇතිවන තත්ත්වයක්. අධික ශීතල හෝ පීඩනය නිසා ඇඟිලි වලට ලැබෙන ලේ ගමනාගමනය අවහිර වී එහෙම නැත්නම් අඩාල වෙලා ඇගිලි තුඩු නිල් පැහැයට හෝ සුදු පැහැයට හැරීම. මෙමගින් ලේ ගමනාගමනය නවතින නිසා නියපොතුවලට පෝෂණය ලැබීම නැති වෙනවා. නියපොතු මැරෙන්නත් පුළුවන්. එය ඉතාමත් කලාතුරකින් දකින්නට ලැබෙන තත්ත්වයක්.
Hypothyrodism
තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අපේ මුළු ශරීරයේ බොහෝ තැන් වල පාලනයට බලපාන දෙයක්. තයිරොක්සින් හෝමෝනය අඩු උනහම නියපොතු දුර්වල වීම වලක්වන්න බෑ. ඉතින් උඩ විදිහට සත්කාර කරලා කොයිතරම් කලත් ඔයාගේ නියපොතු ශක්තිමත් වෙන්නේ නැත්නම් හේතුව මෙය විය හැකියි. ඖෂධවලින් ඉතා හොඳින් පාලනය කරගත හැකි තත්ත්වයක්. නිරන්තරයෙන් වෛද්‍ය උපදෙස් පතන්න. පරීක්ෂණවලට යොමු වන්න.
Animia
රක්තහිනතාවය, ඒ කියන්නේ ඔබේ ශරීරයට අත්‍යවශ්‍ය තනිව ඛනිජ ලවනයක්වන අයන් එහෙමත් නැත්නම් යකඩ ඌනතාවය. ඉතින් මේ තත්ත්වය තියනවනම් ඔයාට හිසකෙස් වගේම නියපොතු දුර්වල වෙන එක වළක්වන්න බෑ. ඔබ කාන්තාවක් නම්, මාසික ඔසප්වීමේදී පිටවන රුධිර ප්‍රමාණය වැඩිද කියල පරික්ෂා කර ගන්න. මේවා පාලනය කරගත හැකි දේවල් නිසා අනිවාර්යෙන්ම ප්‍රතිකාර වලට යොමු වන්න.
cancer treatments
යම්කිසි පිළිකා තත්වයකදි කෙරෙන ඖෂධ සහ නොයෙකුත් ප්‍රතිකාර ක්‍රමවල බලපෑම නිසාත් ඔබේ නියපොතු දුර්වල විය හැකියි. පාලනය කරගත නොහැකි තත්ත්වයක් වුණත් නියපොත්තකට වඩා ජීවිතේ වටිනා බැවින්, බාහිරව ශක්තියක් ලබා දෙමින් එය රැක ගන්න උත්සාහ කරන්න .
එහෙම කිව්වට බෑනේ කොහොමද එහෙම කරන්නේ ?. ඒකට හොදම උත්තරය තමයි නවීන තාක්ෂණය අනුව නියපොත්ත සවිබලගැන්වීම. ඒ කියන්නේ කෙස් ගස් දුර්වල උනහම අපි බාහිරින් keretin තැන්පත් කරලා ඒ කෙස් ගහ ශක්තිමත් කරනවා වගේ නියපොත්තටත් කෘතිම ආවරණයක් ස්වභාවික පෙනුමක් සහ ස්වභාවයක් එක්ක ලබාදීලා ශක්තිමත් කිරීම. Gel nails/ acrylic nails තියෙන්නේ අන්න ඒකට තමයි. මේ නමින් තොරතුරු හෙව්වා නම් ඔයාලට මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපි ඉදිරියට ඒවා ගැන වෙනම ලිපි සකසනවා.
ඉතින් ඔයාලගේ නියපොතු ශක්තිමත් නැහැ කැඩෙනවා කියලා අඬ අඬ ඉන්නවට වැඩිය හොඳ උත්තරයක් දැන් තියෙනවානේ. මේවා නරක දේවල් නෙමේ. හොඳින් පළපුරුදු කෙනෙක් කරනවා නම්, ඉතාමත් ලස්සන නියපොතු පෙළක් පෙලක් ඔබට මේවා මගින් ලබාගන්න පුලුවන්. සති දෙකකට පමණ වරක් හෝ මාසෙකට වරක් අලුත් වැඩියා කර ගැනීමක් පමණක් නැවත කරගැනීමට සිද්ධවේවි. මුලින් යන වියදම ටිකක් වැඩි උනත් අලුත් වැඩියාව (maintenance ) සදහා යන වියදම ඊට අඩුයි. නමුත් එයින් ලැබෙන පෙනුම සහ ශක්තිය නියපොත්ත දුර්වල නෑ කිය කිය අඬ අඬ ඉන්න ඔයාලට හොඳ උත්තරයක් කියලා මම හිතනවා.

(Beauty Secrets with Rapunzel)