Saturday, May 04, 2024
Follow Us
 Serum

අපේ සමූහයේ තුළ නිතරම අපෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ serum පිළිබඳව තොරතුරු. ඉතින් ඒ නිසා ඒ ගැන සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සමූහයට අවශ්‍යයි කියලා මට දැනුනා. කරන්නන්වාලේ කරන්නේ නැතුව හරියට දැනගෙන අපි serum එකක් පාවිච්චි කරමු. දැනට පෞද්ගලිකව මම face serum එකක් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් පාවිච්චි කරලා තියෙනවා. ප්‍රතිඵල හොඳයි. දැනට මම පාවිච්චි කරනවා හෙයා සීරම් එකක් හිස සම්බාහනය කරද්දි හෝ පීරද්දි ...


?මොනවද මේ සීරම් කියන්නෙ?
සරලව කිව්වොත් ආලේපනයක්නේ .... සමේ ගාන දෙයක්. සාමාන්‍යයෙන් අපි සමේ ආලේප කරන්නේ ක්‍රීම් හෝ ලෝෂන් වර්ග. නමුත් සීරම් කියන වචනයෙන් හැඳින්වෙන මෙම ආලේපන ක්‍රීම් හෝ ලෝෂන් වලට වඩා ඉතා සැහැල්ලු, උරා ගැනීමේ හැකියාව අතින් ඉතා ඉහළ, වඩාත් හොඳ ප්‍රතිපල ලැබෙන සාපේක්ෂව මිලෙනුත් වැඩි ආලේපනයක්.
සාමාන්‍ය ක්‍රීම් හෝ ලෝෂන් තරම් තෙතමනයක් හෝ ආරක්ෂාවක් මෙයින් ලැබෙන්නේ නැහැ. නමුත් සම තුළට කා වැදී එහි ගුණයන් සමට උරා ගැන්වීමේ හැකියාව අතින් මෙය ඉතා ඉහළ ප්‍රතිඵලදායි ආලේපනයක් වෙනවා. උරා ගැනීමේ හැකියාව ගැන කියනවනම් සාමාන්‍ය ක්‍රීම් හෝ ලෝෂන් වර්ග 5-10% වන අතර serum වලදී එය 70% පමණ වෙනවා. ඉතින් ඔයාලට තේරෙනවනේ වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න නම් යම්කිසි අවශ්‍යතාවක් සඳහා ඒ අදාළ අවශ්‍යතාවය මත serum වර්ගයක් තෝරා ගැනීම ඉතා සුදුසු බව.
?තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
අනෙක් ආලේපන මෙන්ම මෙහිදී ඔබේ සමේ ස්වභාවය හා අවශ්‍යතාවය අනුව තෝරා ගත යුතුයි සහ එය ඉතා සරල දෙයක්. මොකද ඕනෑම ආලේපන ඇසුරුමක මෙම තොරතුරු සඳහන් වෙනවා. ඉතින් මේ වගේ ලිපියක් දැම්මම ඒවා ගැන අහන්නේ නැතුව මිලදී ගන්න පුළුවන් තැනකට ගිහිල්ලා ඒවා කියවලා බලලා තෝරා ගන්න ඔයාලා පුරුදුවෙන්න ඕන. ලිපිය දාපු කෙනාට කරදර කරන්න එපා.
උදාහරණයක් හැටියට ඔබට ඇත්තේ කුරුලෑ සහිත සමක් නම් කුරුලෑ සඳහාම නිපදවූ සීරම් වර්ග තිබෙනවා. Acne fighting serum ලෙස මේවා හඳුන්වනවා. බොහෝ විට මේවායේ Salicylic acid හෝ Glycolic acid අන්තර්ගතයි. ආලේප කරන ආකාරය සහ වේලාවන් පවා මේවායේ සඳහන්. සමහර ඒවා තනිකරම ආලේප කළ හැකි නමුත් ඇතැම් ඒවා තවත් අලේපනයක් සමඟ මිශ්‍ර කළ යුතු වෙනවා. මේවා සේරම ඇසුරුමේ සඳහන්. කොහොම නමුත් ආලේප කරද්දී ඉතා කුඩා ප්‍රමාණයක් පාවිච්චි කිරීම වැදගත්. (Pea size ඒ කියන්නේ කඩල ඇටයක ප්‍රමාණය ප්‍රමාණවත්. තම්බන්න කලින් එකක් හොඳේ ?).
? Serum අත්‍යවශ්‍ය ද ?
නැහැ . අවශ්‍ය හෝ අනවශ්‍ය බව තීරණය කළ යුත්තේ ඔබයි. දිනපතා පාවිච්චිය සඳහා අපි ආලේපන භාවිතා කරන පිලිවෙල Face cleanser > toner > moisturizer > sun cream වෙනවා උදෑසනට, රාත්‍රියේ දී මෙය face cleanser > toner > moisturizer ලෙස දක්වන්න පුළුවන්. තෙල් සහිත සමක් නම් moisturizer මග හැරිය හැකියි.
මේවා පාවිච්චි කිරීම හෝ නොකිරීම තමන්ගේ කැමැත්ත මත තමයි තීරණය වෙන්නේ. ඔබ සීරම් එකක් පාවිච්චි කරන්න තීරණය කළා නම් හැම විටම ටෝනර් එකට පසු එය ආලේප කළ යුතුයි. ඉන්පසු යමක් ආලේප කරනවා නම් විනාඩි 5-10 ට පසු ආලේප කරන්න පුළුවන්.
? ආලේප කරන වේලාවන් මොනවා ද ?
දිවා සහ රාත්‍රී කාලයේ දී ආලේප කරන සීරම් වර්ග වෙන වෙනම තිබෙනවා. සමහර ඒවා මේ වෙලාවල් දෙකේදීම පාවිච්චි කළ හැකියි. මේවා තමන් මිලදී ගන්නා ආලේපනයේ ඇසුරුම කියවා බලා ඔබට තේරුම් ගත හැකි නම් පමණක් මිලදී ගැනීම වටිනවා. සීරම් එක අරන් ඇවිල්ලා photo අරන් inbox දාල මගේ නම් අහන්න එපා මේක කොහොමද ගාන්නේ කියලා.
ඇත්තටම මේක දිනපතා අපි පාවිච්චි කරන දේවල් වලට වඩා එහා ගිය වැඩිපුර සත්කාරයක් අපේ සමට. මිලෙන් වැඩි වීම කියලා කියන්නේ ඒවායේ අන්තර්ගත අමුද්‍රව්‍ය ඉතා හොඳ තත්වයෙන් උසස් ඒවා බවයි. නමුත් මිලෙන් අඩු ඒවායිනුත් යම් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. සන්නාම නාමය ගැනත් සලකා බලන එක හොඳයි.
කෝක වුනත් එකිනෙකාගේ සම යම් යම් දේවල් වලට ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් නිසාත් සීරම් වල අඩංගු අමු ද්‍රව්‍ය වල ක්‍රියාකාරිත්වය අධික නිසාත් යම් යම් අසාත්මිකතා ඇතිවිය හැකියි. ඒ නිසා පාවිච්චි කිරීමේ දී යම් ගැටළුවක් මතු වූ විට ඒ ඇයි කිය කිය අහගෙන ඉන්නවට වඩා තමන් දැනගන්න ඕනේ ඒක තමන්ට අසාත්මිකතා දක්වනවා ඒ නිසා නතර කළ යුතු බව.
?serum පාවිච්චි කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල මොනවාද ?
මම කලිනුත් සදහන් කලානේ අපි ආලේපනයක් පාවිච්චි කරද්දි ඒක තෝරගන්න ඕනේ අපේ සම සහ අවශ්‍යතාවය අනුවයි. ඔයාට අවශ්‍ය සමේ වයසට යාමේ පෙනුම අවම කර ගැනීමට නම් anti-aging properties තියෙන serum එකක් තමයි පාවිච්චි කරන්න ඕනේ. දීප්තිමත් පැහැදිලි ඒකාකාරී සමක් අවශ්‍ය නම් පැහැපත් කාරක සහිත serum පාවිච්චි කළ යුතුයි. ඒ වගේම අනවශ්‍ය විවෘත වු සමේ සිදුරු ඉක්මනින් වසා දමා, සම පෝෂණය කරමින් නිරෝගීව පවත්වා ගැනීමටත්, සිනිඳු බවක් සාමාන්‍ය ආලේපන වලට වඩා ඉක්මනින් ලබා දීමටත් හැකියාව සීරම් වල තිබෙනවා.
නැවුම් පෙනුමකින් යුත් තරුණ පෙනුමැති නිරෝගී සමක් කියන්නේ ඉතාමත් අඩු foundation coverage එකක් පාවිච්චි කල හැකි සමක්. ප්‍රශ්න අඩු නම් සඟවන්න තියෙන දේවල් අඩුවෙනවා... එවිට ඔබේ අවට ඉන්න අයට මූණ සේදුවට පසුවත් ඔබ ඔබම හැටියට දකින්න පුළුවන් වේවි
? Serum පාවිච්චි කළ යුතු වයස් සීමාව කුමක්ද ?
මම ඉහත සඳහන් කලානේ අවශ්‍යතාවය අනුව කියලා ... ඉතින් සාමාන්‍යයෙන් anti aging properties පාවිච්චි කරන්නේ අවුරුදු විසි පහෙන් පස්සේ. අනිත් ඒවා අවුරුදු 18 න් ඉහලට අවශ්‍යතාවය අනුව පාවිච්චි කළ හැකිය. ඊට කලින් කාලය පාසල් සමය නිසා මේවා පාවිච්චි කරලා පරිස්සම් වීමේ හෝ වියදම් කිරීමේ හැකියාවක් ඔයාලට නැහැ.
?Serum වලින් සමට ආරක්ෂාවක් ලැබෙනවාද ?
නැහැ . සාමාන්‍යයෙන් ක්‍රීම් හෝ ලෝෂන් අපේ සම මත පවුරක් ලෙස ක්‍රියා කරනවා . ඒ කියන්නේ ගෑවම සම්පූර්ණයෙන් උරා ගන්නේ නෑ. මම කලින් සදහන් කලා ප්‍රතිශතය. ඉතිරි ටික සේරම සම මත රැඳිලා තියෙනවා. ඒ නිසා බාහිර පරිසරයේ තිබෙන කුණු දුහුවිලි වලින් සහ අහිතකර කිරණයන්ගෙන් සම ආරක්ෂා කරනවා. නමුත් සිරම්වල එහෙම නැහැ. එය සම මත රැඳිලා තියෙන ප්‍රමාණය ඉතාමත් අවමයි වැඩි ප්‍රතිශතයක් සමට උරා ගන්නවා. ඒ නිසා දිවා කාලයේ දී සීරම් එකකට පසු හිරු ආවරණය සහිත ආලේපනයක් පාවිච්චි කිරීම අනිවාර්යයි.
ඉතින් මම හිතනවා මේ ලිපිය කියවලා ඔයාලට serum පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියල. හිස සඳහා පාවිච්චි කරන සීරම් වල තත්ත්වයත් මේකම තමයි . මම හිසට තෙල් පාවිච්චි කරන්නේ නැති නිසා serum එකක් පාවිච්චි කරන බව කලිනුත් කිව්වානේ. ඒවා තෙල් වගේ සෝදා ඉවත් කල යුතු නෑ. හැබැයි නිශ්පාදනයේ එහෙම කියල තියෙනවා නම් සෝදල යවන්න. පලවෙනි කමෙන්ට් එකේ මම සම සඳහා සහ හිසකෙස් සදහා දැනුවත් සීරම් දෙක පින්තූර සහිතව පල කරන්නම්.

(Beauty Secrets with Rapunzel)