Friday, April 19, 2024
Follow Us
Lets protect our nails

මේ දවස්වල අපි නියපොතු ගැනනේ කතා කරන්නේ. මීට කලින් අපි ලිපි කිහිපයක්ම ඒ ගැන පළ කළා. ඉතින් නියපොතු ගැන තවත් කරුණු කිහිපයක් කථා කරන්නයි අද සූදානම. මේකෙන් ඔයාලට යම් දැනුමක් ලැබේවි නියපොතුවලට හැදෙන රෝග පිළිබඳව.


නියපොතු කියන්නේ අපේ සමේම කොටසක් බව ඔයාලා දන්නවා. සමේ ආරක්ෂාවට, ඇඟිලි තුඩු වල ආරක්ෂාවට වගේම අලංකරණයටත් විශාල ලෙස සේවාවක් මේ නියපොතු මගින් ඉටු වෙනවා. ඒ ගැන හොඳ අවබෝධයක් ඇතුව සැලකිල්ලක් දැක්වූවේ නැත්නම් සදහටම අපේ නියපොතු රෝගී නියපොතු හැටියට අපට ලැබෙන පටන් ගන්නවා. නැත්නම් සදහටම අහිමි වෙනවා.
නිරෝගී නියපොත්තක් අපි හඳුනා ගන්නේ කොහොමද කියන එක ගැන එතරම් විශේෂයෙන් විස්තර කළ යුතු නෑනේ. ඒක ඇහැටම පේන්න තියෙන කාරණාවක්.
නියපොතු මතුපිට සිනිදු වීම,
ක්‍රමවත් නියමලක් තිබීම,
අවසාන කොටස හමට හොඳින් බද්ධ වී තිබීම නියපොතු මතුපිට වර්ණය පැහැදිලි වීම
මතුපිට මනා දිස්නයකින් යුක්තව රෝස පැහැති වීම,
හැන්දක් මුනින් අතට නැවුවා මෙන් තිබීම,
ආදී කරුණු තමයි නිරෝගී නියපොත්තක ලක්ෂණ. කොහොම නමුත් අපේ නොසැලකිලිමත්කම නිසා මේ නිරෝගී නියපොත්තක ලක්ෂණ අපේ නියපොතුවලට අහිමි වෙලා යනවා. මේක ලියනකොට මට මතක් උනා මම පුංචි කාලේ නියපොතුවලට කල ලොකුම වැරැද්දක්. රූපලාවණ්‍ය මම හිතන්නේ ඒ කාලෙදිම ඇඟේ තියෙන්න ඇති. අවුරුදු 10 ක විතර කාලෙදි මම දකිනවා ලොකු අක්කලා ලස්සනට නියපොතුවල පාට ගාගෙන දිගට වවාගෙන තියාගෙන ඉන්නවා . ඉතින් අපට කොහෙන්ද එහෙම ලස්සන පාට නේද ?? ?. තිබුණා... තිබුණා.....?
රතු පෑන් බටේ තිබුන රතු කාබන් ටික ?. ඒකෙ පෑන් තුඩ අයින් කරලා ඒ රතුපාට කාබන් නියපොතුවල ගාගන්නවා.... හම්මෝ ඉතින් ලස්සන....... ඒක අම්මා දකිනකල් යහතින් ඇඟිලිවල තියෙනවා. ඉස්කෝලේ යන්න කලින් අයින් කරගන්නත් ඕනේ. ඉතින් එතකොට nail polish remover කියලා ජාතියක් තියෙනවද කියලවත් දන්නේ නෑ. ඒ නැතත් ගාගත්තෙ කාබන් මිසක් nail polish නෙමෙයිනේ. ඉතින් ඒවා අයින් කරන උනහම පිහිටට එන්නෙ තාත්තා පාවිච්චි කරන රේසරේ තියෙන blade එක. ඒක අරගෙන බොහොම සීරුවට අර කාබන් ටික නියපොත්තේ මතුපිටත් එක්කම සුරල දාල තමයි ඒක ඉවත් කර ගත්තේ. ඉන්පස්සෙ නියපොත්තට වෙන හානිය ගැන කිසිම අවබෝධයක් නැහැ.
ඉතින් manicure වලදීත් නොයෙක් උපකරණ පාවිච්චි කරලා නියපොත්ත ඕනවට වඩා මදින්න ඉඩ දෙන්න එපා. ඒකෙන් ස්වාභාවිකවම ලස්සනට එන නියපොත්ත ගොඩාක් තුනී වෙනවා වගේම පළුදු වෙනවා. හරි විදියට manicure එකක් කරන විදිහ අපි ඉදිරියේදී පලකරන්නම්.
සාමාන්‍යයෙන් අතේ නියපොතු වලට වඩා හෙමින් තමයි කකුලේ නියපොතුවල වැඩීම සිදුවන්නේ. ඒ වගේම තමයි පිරිමි අයගේ නියපොතු වල වැවීම ගැහැණු අයට වඩා ඉක්මන් වගේම ඝනකමින් වැඩියි. අපි වැඩකරන අතේ නියපොතු අනිත් අතට වඩා ඉක්මනට වැවෙනවා. දුම් පානය කරන අයගේ නියපොතු වල වැඩීම බාල වෙනවා. කිරිදෙන මව්වරුන්ගේ නියපොතු වල වැඩීමත් බාල විය හැකියි. තරුණ වයසේදී නියපොතු වැඩිම වේගවත්. ගර්භණී අවධියේදීත් නියපොතු වල වැඩීමත් වේගවත් විය හැකියි.
ඇතැම් අයගේ නියපොතු වල ගණකම පසුකාලීනව වැඩි වෙනවා ඝනකම වැඩි වීම සෙන්ටිමීටරය දක්වා පවා සිදුවිය හැකියි. ඒ වගේම ඝනකම අඩු වෙන්නත් පුළුවන්. ඒකට ඇතැම් ජානමය හේතු, වයසට යාම සහ පෝෂණ ඌනතා බලපානවා. හොඳ ගුණවත් කෑම වේලක් මේ හැමදේටම බලපානවා.
නියපොතුවලට බහුලව බලපෑම් එල්ල කරන දෙයක් තමයි මේ දිලීර ආසාදන. අපි මේ ගැන footcare ලිපියේ සඳහන් කරලා තියෙනවා. ඒ ලිපිය කියවන්න. මෙම දිලීර වර්ග "ඩෙමටයිටීස්" හා "ඊස්ට්" වශයෙන් වෙන් කරන්න පුළුවන්. තෙත් ප්‍රදේශයන්හි දී දිලීර ආසාදනයන් වැඩිපුර සෑදීම ස්වභාවිකයි. ඒ වාගේම දෑත් සහ දෙපා නිතරම ජලයේ ගැටෙන අයට දිලීර ආසාදන වැලඳීමේ ප්‍රවණතාව වැඩියි.
ඒ නිසා අපි කියනවා නිතරම දෑත් දෙපා සේදූ වහාම පිහදාන ලෙස. පුරුද්දක් හැටියට මම උයද්දී පවා නිතරම අත පිහදාන කෙනෙක්. එලවලු ටික සෝදලා කපන්න කලින් මම නැවත අත පිහදානවා . ශරීරය සේදුවම අනිවාර්යෙන්ම කකුල් වල තෙත ඉතා හොඳින් මාත්තු කරනව. හිසේ තියෙන හිස්සොරි දිලීරයක් බව ඔයාල දන්නවනේ. හිස්සොරි තෙතට ඉතාම කැමති නිසා හරියට හිස පිසදාන්නේ නැති අයගේ සහ නිතරම තෙල් ගාගෙන ඉන්න අයගේ හිස්සොරි වැඩි වෙනවා.
ඩෙමටයිටීස් දිලීර ආසාදනවලදී මුලින්ම නියපොත්තෙහි අග කොටසේ ඊට යටින් තිබෙන ස්ථානයෙන් වෙන් වේ. මෙම වෙන් වීමත් සමඟම keretin තැන්පත් වන අතර එය කුඩු කුඩු ලෙස දක්නට ලැබේ. මෙහිදී නියපොත්තේ දිස්නය අඩුවී නියපොත්ත අවපැහැවීම, සුදු හෝ කළු පැහැවී වර්ණය වෙනස් වීම විය හැක. දුර්වල වන නිය කැඩී යන අතර, ඇතැම් විට සම්පූර්ණ නියපොත්තම කැඩී යා හැක.
මෙම ආසාදන වල ප්‍රතිඵලයක් හැටියට දෙවනුව ඇතිවිය හැකි තත්ත්වයක් වන්නේ බැක්ටීරියා ආසාදනයක් ලෙස නියකන ඉදිමී, ඇතැම් අවස්ථාවලදී එයින් සැරව ගැලීමට පටන් ගැනීම.මෙලෙස ඉදිමෙන ස්ථානවල නියපොත්ත දුර්වර්ණ වීමට ලක්විය හැක. නිය හා ඒ අතර තිබෙන ස්ථරය ගැලවී යාමෙන් නියපොත්තක් නියමලත් අතර වලක් සෑදිය හැක. මෙවැනි අවස්ථාවලදී ප්‍රතිකාර යෙදීම ද ඉතාමත් අසීරු වේ.
"ස්ටෙප්ලර් කොකස්" නැමැති බැක්ටීරියා ආසාදනය නිසා නියපොත්ත තුළ සැරව එක්වී උණ සමඟ දැඩි වේදනාවක් ද ඇතිවිය හැක
"පියුඩනමාස්" නමැති බැක්ටීරියා ආසාදනය හේතුවෙන් නියපොත්ත නිල් හෝ කොළ පැහැ වීමක් සිදුවිය හැකි අතර මෙය සුව කිරීමට ද තරමක් අපහසු වේ.
මෙම ආසාදනයන්ට අමතරව බොහෝ දෙනාගේ නිය කැඩීයාම, දුර්වර්ණ වීම, සිනිඳු බව හා දීප්තිමත් බව නැති වී යාමත් විශේෂ තත්ත්වයක් ලෙස ගත හැක ( twenty nail syndrome ) මෙය කුඩා දරුවන් අතර බහුලව රෝගයකි. මෙය ඇතැමුන් ගේ නියපොතු දෙක තුනකට හෝ විස්සටම බලපෑ හැක. මෙය බොහෝවිට කලබල විය යුතු තත්ත්වයක් නොවන අතර ඇතැමුන්ගේ උපතින්ම සහ ආරයටත් මෙය සිදුවිය හැක. මෙය බරපතළ තත්ත්වයක් නොවේ.
එමෙන්ම ඇඟිල්ලේ සිදුවන තුවාල කැලැල් පසුකාලීනව නියපොත්ත දුර්වර්ණ වූ ලපයක් ආකාරයට මතුවිය හැක. උදාහරණයක් ලෙස ඇඟිල්ල දොරට හසු වූ විගසම නොව නියපොත්ත වැඩෙන විට එලෙස කළු, අවපැහැ හෝ තද දම් පැහැති ලප මතු වී පෙනිය හැක. මෙය නියපොත්ත වැවීමේදී කපා දැමිය හැක (half and half nail )
(මෙහි වෛද්‍ය විද්‍යාත්මක කරුණු අජිත් කන්නන්ගර විශේෂඥ වෛද්‍යතුමාගේ ලිපියක් ඇසුරෙනි.)

(Beauty Secrets with Rapunzel)