Thursday, April 18, 2024
Follow Us
සුදු පොල්තෙල්

මුහුණු පොතේ තිබෙන රූපලාවණ්‍ය සමූහ අතරින් යම්කිසි රූපලාවණ්‍ය ගැටලුවකට හොඳම විද්‍යාත්මක විසඳුම් ලබාගන්න පුළුවන් වෙන්නේ අපේ සමූහයෙන් කියලා බය නැතුව කියන්න පුලුවන්. ඒකට හේතුව තමයි සමූහය ආරම්භ කළ මමත් සමූහය වෙනුවෙන් ලිපි ලියන අනිත් අයත් ඒවා ලියන්නෙ හොඳ දැනුමක් ඇතිව වීම.


අපි කිසිම තැනකදී වෙන සමූහවල ලියන රූපලාවන්‍ය ශිල්පිනියන්ට හෝ වෙන කිසිම කෙනෙකුට අපේ සමූහයේ ලියන්න කියලා කිසිම දවසක ආරාධනාවක් කරල නෑ.. මේකෙ ලියන හැමෝම ලියන්නේ හරිම කැමැත්තෙන් ස්වේච්ඡාවෙන් අනාරාධිතව. ඒ ලියන අයට නම් නොයෙක් මාතෘකා මතක් කර දෙමින් ඒ ගැන සොයා බලා ලිපි ලියන ලෙස බල කරන අවස්ථා බොහෝමයි..... එහෙම කියල.... ලිපි බලෙන් ලියවා ගන්න කෙනෙක් තමයි අපේ ආදරණීය යෙහෙළිය Gáyañi Sudéera Lîyañage
මම මේ ලියන්නේ ඇයව වර්ණනා කරන්න නෙමෙයි . සුදු පොල්තෙල් ගැන කියන්නයි. හිසකෙස් හොඳින් නිරෝගීව වවා ගැනීම සඳහා අපි කියලා දීල තියෙන තෙල් සාත්තුවට පාවිච්චි කරන්න හෝ හිසකෙස් වල පාලනයට සහ තාවකාලිකව තෙතමනය රඳවා තබා ගන්න මම බොහෝ විට නිර්දේශ කරනවා මේ සුදු පොල්තෙල් .
නමුත් හුඟක් අය මට පින්තූර එවල අහනව මේ පොල්තෙල් එකද කියලා .. හැබැයි ඒ එවන්නේ සුදු පොල්තෙල් නම් නෙමේ .. ඒ එවන්නේ කහ පොල් තෙල් ?..... හිසේ සම සම්බාහනය කිරීමට වගේම හිස කෙස් වල තෙතමනය හෝ පාලනය රඳවා තබා ගැනීමට අපි නොයෙකුත් ක්‍රීම් වර්ග, සිලිකන් තෙල් වර්ග, මූස් වර්ග පාවිච්චි කරනවනේ. ඒ ඔක්කොටමත් වඩා එහෙම තාවකාලික තෙතමනයක් සහිත පෙනුමක් හිස කෙස් වලට අවශ්‍ය නම් මම හිතන්නේ මේ සුදු පොල්තෙල් ඉතාමත් හොඳ ආදේශකයක් කියලා. එය ගුණයෙන් ඉහළයි, අවර්ණයි වගේ ම සුවඳිනුත් තොරයි. අපිට උගන්නද්දී කිව්වේ හරියට වතුර වගේ කියලා.
හිසකෙස් සඳහා මෙය පාවිච්චි කරනවානම් යාන්තම් ආලේප කිරීම ප්‍රමාණවත්. හිසේ සම සම්බාහනය සඳහා පාවිච්චි කරනවා නම් ඉතා හොඳින් ඉවත් කිරීමට මතක තියාගන්න. සුදු පොල්තෙල් වල පින්තූර මම පහතින් අලවා තිබෙනවා එහි ස්වරූපය හඳුනා ගැනීම සඳහා.
ඒ වගේම මිස් ගයනි අපි වෙනුවෙන් ලිව්ව ලිපියක පොල්තෙල් ගැන හොඳ විස්තරයක් තිබෙනවා. ඒක කියෙව්වත් සමහර අයට තේරුම්ගන්න බෑ හොඳ පොල්තෙල් මොනවද කියලා. ඒකයි වෙනමම මෙහෙම සටහනක් තියන්න අදහස් කළේ.
පොල් තෙල් වල පී එච් අගය 5.5 - 7 දක්වා වෙනවා. හිස කෙස් වලට සහ සමට එය හිතකර අගයක්. PH balance chart එක ගැනත් වෙනමම ලිපියක් මම පල කරලා තියෙනවා. මේ ලිපි කියවන්න... අවබෝධයක් ලබා ගන්න.
ආලේපනය සඳහා පමණක් නොවේ කෑමට එකතු කර ගන්නත් සුදුසුම පොල් තෙල් වර්ගය මෙම සුදු පොල්තෙල් වර්ගයයි. නමුත් එය සාමාන්‍ය පොල් තෙල්වලට වඩා මිලෙන් වැඩියි.

(Beauty Secrets with Rapunzel)