Monday, April 29, 2024
Follow Us
OIL TREATMENT

ගොඩක් අය ඉල්ලුව නේ කොණ්ඩෙට සාත්තුවක්. හැබැයි මේක කොණ්ඩෙට සාත්තුවක් නෙමෙයි . හිසේ සමට කරන සාත්තුවක් . මේක ඕන වෙන්නෙ නිරෝගී කොණ්ඩයක් වවාගන්න. බොහෝ අය කරන්නේ මොනවා හරි තෙල් වගයක් කොන්ඩෙට දාගෙන ඒ ආනුභාවයෙන් කොණ්ඩය වැවෙනකල් බලා සිටීමනේ. හැබැයි හොදින් මතක තියාගන්න තෙල් දාලා නිකං බලා ඉඳලා බෑ හිස සම්භාහනය කරන්න ඕනේ කියලා. තෙල් අපි පාවිච්චි කරන්නෙ මසාජ් කිරීමේ පහසුවටයි.


ඉස්සර අපේ අම්මලා ආච්චිලා මුලු දවස පුරාම කොන්ඩෙ තෙල් ගා ගෙන හිටියා. නමුත් නවීන ලෝකේ අපේ කොන්ඩ වලට තෙල් ගාගෙන ඒ ගඳත් එක්ක ඒ පෙනුමත් එක්ක සමාජයේ සැරිසරන්න අමාරුයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා කොන්ඩෙට තෙල් ගෑවොත් ඒ තෙල් ටික හෝදල අයින් කරන්න.
එතකොට අපිට කොන්ඩෙට ෂැම්පු දාලා තමයි ඒක කරන්න වෙන්නේ. ඉතින් මම හිතනවා shampoo දැම්මහම කොන්ඩෙ damage වෙනවා නම් ඒ තෙල් ගෑමෙන් අපට පලක් වෙන්නෙ නැහැනේ. මොකද තෙල් යවන්න ගියහම ෂැම්පු දෙතුන් පාරක් දාන්න වෙනවා කොන්ඩේ ගොඩක් damage වෙනවා . හැමෝම කළත්... කාලයක් තිස්සේ කරගෙන ආවත් ඒක වැරදි නම් වැරදි ම තමයි .
එහෙනම් අපි තෙල් සාත්තුවක් කරමු කොන්ඩෙට නෙමෙයි ඔලුවට .... ඔලූවේ සමට..... ඔලුවේ මාංශ පේශිවලට .
අපේ කොන්ඩෙ යන හේතුව කුමක් වුනත් තෙල් සාත්තුවෙන් එය යම් තරමකට හෝ අවම කර ගැනීමේ හැකියාවක් තිබෙනවා.
අපි බලමු සම්බාහනයක් තුළින් අපගේ හිසට සිදු වෙන වාසි මොනවද කියලා .
?හිසේ සමට මනා උත්තේජනයක් ලැබීම නිසා හොඳ කෙස් ගහක් වර්ධනය සඳහා කේශ මූලයට අවශ්‍ය පෝෂණය සහ ඔක්සිජන් බාධාවකින් තොරව ලැබීමේ හේතුවෙන් ශක්තිමත් නිරෝගී කොණ්ඩයක් අපට ලැබීම
?වසා පද්ධතිය(lymphatic system ) උත්තේජනය වීම මගින් හිසේ සම ආශ්‍රිතව ඇති toxins හෙවත් අපද්‍රව්‍ය ඉවත් කිරීමට උදව් ලබා දීම.
?උදාසීන හෝ ක්‍රියා විරහිත කේශ මූලයන් ක්‍රියාකාරී වීමට උත්තේජනයක් ලබා දීම
?හිස මත සමේ ඇති වියළි බව නැති වීම.
?මෙමගින් හොඳ නිරෝගී කෙස් ගසක් ලැබෙන නිසා යම් දිනෙක එම කෙස් ගස් වල අගිස් පැලීමේ අවදානම අඩු වීම.
?පලපුරුදු කෙනෙක් මෙය සිදු කිරීමේදී එයින් දැනෙන සහනය සහ සනීපය නිසා මානසික ආතතිය අවම වීම.
?හිස සහ බෙල්ල අවට මාංශපේෂි ලිහිල් (relax) වීම නිසා කේශ මූලයට මනා පෝෂණයක් ලැබීම. මාංශපේෂි තද වූ විට ලේ සැපයුම නිසි පරිදි සිදුවන්නේ නැත.
?සුවදායී නින්දකට මග පෑදීම.
හරි දැන් අපි පටන් ගමු තෙල් සාත්තුවට ලෑස්ති වෙන්න. ඔබට ඕනම තෙල් වර්ගයක් මේකට ගන්න පුළුවන්. මම කියන්නේ ඉන්ධන ගැන නෙමෙයි ?. උදාහරණ හැටියට ආමන්ඩ් තෙල්, එඬරු තෙල්, පොල් තෙල්, තල තෙල්, peppermint oil. මේවා පිරිසිදු තෙල් වර්ග විය යුතුයි . කරපිංචා උළුහාල් වැනි දේවල් බැදලා මේවට එක් කරන එකෙන් මෙම තෙල් වල උපතින්ම තියෙන ස්වභාවික ගුණවලට හානි කරනවා .ඒ නිසා වඩා සුදුසුයි මේ තෙල් ගන්නා විට නොයෙක් දේවල් බාහිරින් කවලම් නොකර ගන්නා එක. තෙල් සහිත scalp එකක් තියෙන අය මෙම සම්බාහනය කරද්දි තෙල් භාවිතා නොකරනවා නම් සුදුසුයි. ඒ අයට විශේෂයෙන් නිපදවූ hair tonic සහ serum වර්ග වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන් .
අපට අවශ්‍ය නම් මේ තෙල් වර්ග කිහිපයම එකට කවලම් කර පාවිච්චි කර ගත හැකියි . මම සඳහන් කළ තෙල් වර්ග නැතත්....සුවඳ කවා නැති රසායන ද්‍රව්‍ය පාවිච්චි කර නැති ඔබ කැමති ඕනෑම තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්.
? දැති ලොකු ස්වභාවික කෙඳි සහිත පනාවකින් scalp එක්ක වාර 50 ක් පමණ පීරන්න. සීරෙන්නේ නැති පමණට හොඳින් දැනෙන තරමට .
? ඉන්පසු ඔබ තෝරා ගත් තෙල් වර්ගය පිත්තල මේස හැන්දක් රත් කරගත් පසු එයට දමන්න. මේ ක්‍රමයෙන් තෙලක් ඕනාවට වඩා රත් කර ගන්නේ නැතිව, නාස්ති කරගන්නේ නැතුව අපිට පාවිච්චි කර ගන්න පුළුවන්. දැන් එම තෙල් ටික පීරිසියකට දමා සම්භාහනය සඳහා සූදානම් වන්න.
?පුටුවක ඉඳගෙන කිරීම වඩාත් යෝග්‍යයි දැන් ඔබ රත්කර ගත් තෙල් ටික ඇඟිලි තුඩු වලට ගෙන හිසකෙස් වල ගැල්වීම පුළුවන් තරම් අවම කරගනිමින් ඇඟිලි තුඩුවලින් හිසේ සම තෙරපන්න.
?මුළු හිසම මෙසේ ඇඟිලි තුඩුවලින් සම්බාහනය කළ යුතුයි . මූලදී පීඩනය අවම මට්ටමකින් පටන් ගෙන හිමින් හිමින් වැඩිකර විනාඩි දහයකට පසු එම තෙරපීම ඔබට හොඳින් දැනෙන තරමට කරන්න .
?මිනිත්තු විස්සක් මෙසේ කල යුතු අතර ඔබ දිනපතා මෙම සම්බාහනය කරන්නේ නම් එය විනාඩි දහයකට පමණක් සීමා කරන්න.
? මෙහිදී නලලේ තෙල් නොගෑවීමට වග බලා ගන්න.
?සම්බාහනය අවසන් කළ යුත්තේද එම තෙරපුමට යොදන බලය හිමින් හිමින් අඩු කර ගැනීමෙනි.
?දැන් නැවත වරක් ඔබේ පනාව ගෙන පනස් වතාවක් scalp එක පීරන්න.
?මෙම සත්කාරයෙන් පැයකට පසුව හිස shampoo දමා සෝදා හරින්න.හිස් කබලේ තෙල් රඳවා තබා ගන්නට එපා. සම්භාහනයන් ඉවර කල සැනින් නෑම හොඳ නැත.
තෙල් සාත්තුවක් තමන් කරනවට වඩා වෙන කෙනෙක් ලවා කර ගැනීමෙන් ඔබේ මානසික සුවතාව වැඩි දියුණු කරගත හැකිය.
රූපලාවණ්‍ය ශිල්පිනියක් ලවා මෙය කරගත හැකි නම් වඩාත් සුදුසුයි. ඔවුන් එය ඉහත සඳහන් කළ ආකාරය ට වඩා වෘත්තීයමය වශයෙන් වඩා හොඳ ප්‍රතිඵලයක් අත් කර දීම සඳහා නිවැරදිව කරනු ඇත
හැබැයි එහිදීත් ඔබ අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුතුයි පළපුරුදු රූපලාවන්‍ය ශිල්පිනියක් ළඟට යන එක ගැන.
මොකද මට අත්දැකීම් තියෙනවා සමහර සැලොන් වලට තෙල් සත්කාර වලට ගියාම අන්තිමට කොණ්ඩය හොඳටම ගැට ගැහිලා එහි ගැට කඩන්න ගිහිල්ලා කොණ්ඩය මගින් කැඩි කැඩි ගිය අවස්ථා
රූපලාවන්‍ය ශිල්පිනියකට ඔබේ කොණ්ඩය බාර දෙන්නට කලින් ඔබ පැවසිය යුතුමයි කොණ්ඩය ගැට ගස්සවන්න එපා කියලා . පළපුරුදු මනා පුහුණුවකින් යුත් රූපලාවණ්‍ය ශිල්පිනියක් දන්නවා ඕනෑම දිග කොණ්ඩයක් ගැට ගහන්නේ නැතුව අවුල් කරන්නේ නැතුව කොහොමද හිස සම්භාහනයක් කරන්නේ කියලා.
මේ සත්කාරය නිතිපතා කලොත් ඔබගේ කොන්ඩය මාසයකට අඟලක් දක්වා දිගින් වර්ධනය කරගන්න පුළුවන් . හැබැයි ඇතැම් තෙල් වර්ග අලෙවි කරුවන් පවසනවා එක දවසින් අඟලකින් කොන්ඩය දිගු කර ගත හැකි බව. එවැනි රැවටිලිකාර වෙළෙන්දන් කියන දේවල් විශ්වාස කිරීමෙන් තමයි හුඟක් කාන්තාවන්ගේ කාලයත් ශ්‍රමයත් මුදලත් නාස්ති වෙන්නේ.
බොරු උපදෙස් දීලා ඔවුන් බලාපොරොත්තු වෙන්නේ කුමක්දැයි මට තේරෙන්නේ නැති උනත් දවසකට අඟලක් වැවෙනවා නම් එය මාසයකට අවම වශයෙන් අගල් 30ක්.. මාස දෙකෙන් අඟල් 60ක් සහ මාස තුනෙන් අඟල් 90ක්. අපි කරන ප්‍රකාශ ගැන අපි වගකීමක් දැරිය යුතු මයි. කෙනෙක් පවසනවා නම් යම් ආලේපනයක් පාවිච්චි කිරීමෙන් ඇගේ හිස කෙස් දවසින් අඟලක් දක්වා වර්ධනය වූ බව..... මගේ පැහැදිලි ම අභියෝගය නම් එය ඔප්පුකර පෙන්විය යුතු බවයි . අඩුම ගානේ ගානේ මාස තුනෙන් අඟල් 60ක් වත් වැව්වා නම් ඒක අඩි 5ක් උස කෙනෙකුට බිම ගෑවෙන කොණ්ඩයක්. කෙස් වලට, හිසට ආලේපන ගල්වන එක හොඳයි. නමුත් ඒවායින් ලැබෙන ප්‍රතිඵල ගැන බොරු කියන එක හොඳ නෑ.

(Beauty Secrets with Rapunzel)