Sunday, April 28, 2024
Follow Us
 Are you an attractive person

අපේ සමූහයේ රූපලාවණ්‍ය ගැන කතා කරනවා වගේම ජීවිතයට ශක්තියක් වෙන්න යම් යම් කාරණා ඉඳලා හිටලා කතා කරනවානේ. අන්න ඒ වගේ තවත් ලිපි පෙලක පලමු පියවර හැටියට මම ඔයාලගෙන් ඇහුවා ප්‍රතික්ෂේප වීම හෝ කිරීම පිළිබඳව අත්දැකීම් කොහොමද කියලා. අපි කෙනෙකු ප්‍රතික්ෂේප කිරීමට හෝ අපි කෙනෙක්ගෙන් ප්‍රතික්ෂේප වීමට බලපාන කාරනා බොහෝ විට සමානයි.


මම මේ ලිපිය ලියන්න ප්‍රධාන වශයෙන්ම කල්පනා කලේ අපේ සමාජයේ ඉන්නවා විවාහය පරක්කු වෙන කාන්තාවන්. එහෙමත් නැත්නම් කොයිතරම් ප්‍රේම සම්බන්ධතා පටන්ගත්තත් අනෙක් පාර්ශවය මගදී ඒ සම්බන්ධය නතර කරලා දාන අවස්ථාවලට මුහුණ දෙන අය. එතකොට එයාලා කියනවා මම කොච්චර අවංකව හිටියත් මම කොච්චර ආදරය කලත් එයාට මාව එපා වුණා කියල.
මෙතැනදි අවංක වීම කියන කාරණාව ගැන ප්‍රශ්න නැහැ. හැබැයි මේ ආදරය කිරීම කියන කාරණාව ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා. මගේ ජීවිතේ නම් මම ආදරය කරන අයව මම ළඟ තියාගත්තේ ආදරේ කියනවාටත් වඩා පෙන්නලා, ආදරය දැනෙන්න ඇරලා සහ නිදහස දීලා...වෙනස් කරන්න උත්සාහ නොකර , ගෞරවය දීලා.. මට රැකගන්න ඕනේ නැති අයට අනිත් පැත්තට සැලකුවම හරි ?
අපිට බොහෝවිට අත් දකින්න සිද්ධ වෙන දෙයක් තමයි හිතේ ආදරේ තියාගෙන ඉන්න අයත් එක්ක කරන ගනුදෙනුව. ඒක දෙමව්පියන්ගේ... යහළු යෙහෙළියන්ගේ.. නෑදෑයින්ගේ සිට ආදරවන්තයා හෝ ආදරවන්තිය දක්වා විහිදිලා යනවා. ආදරය පෙන්වීම කියන කාරණාවේදී මම දේවත්වයෙන් අදහන දෙයක්. කවදාවත් කාටවත් හිතේ ආදරය පොදි බැඳගෙන තිබිලා වැඩක් නැහැ. පෙන්නන්නෙ නැති ආදරය දනවන්නේ නැති ආදරයක් කන්නද ?
ඉතින් කොහොමද මේ ආදරය පෙන්නන්නෙ..? උප්පැන්නයේ සඳහන් නම හැරුණු කොට ආදරය දනවන නම් කොයිතරම් තිබෙනවාද... ඒක දරුවාට පෙම්වතියට පෙම්වතාට සැමියාට බිරිඳට ඔය කොයි කාට උනත් වුණත් ආදරණීය ආමන්ත්‍රණ අපට හොයාගන්න පුළුවන්.
හැබැයි තමන් කසාද බඳින්න හිතාගෙන ආශ්‍රය කරන මනුස්සයාට සහෝදරකම් කියලා කතා කිරීම නම් මම අනුමත කරන්නෙ නෑ. කොහොම වුණත් අපි තෝරා ගන්නා ආමන්ත්‍රණයට අනෙක් පාර්ශවයේ විරුද්ධත්වයක් නැති විය යුතුයි. මෙතැනදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබෙනවා. පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙකුට පාවිච්චි කරන හුරතල් නාමයන් ඕනතරම් තිබෙනවා සහ ස්වභාවයෙන්ම පිරිමි කැමති හුරතල් කරන්න මිසක් හුරතල් වෙන්න නෙමෙයි. නමුත් අවාසනාවට ගෑණු අය හුඟක් වරද්ද ගන්න තැනක් තමයි මේ පිරිමින්ව හුරතල් කරන්නට යෑම.
සාමාන්‍ය විදියට ආදරයෙන් ආමන්ත්‍රණය කරන්න සහ සලකන්න එපා කියලා නෙමෙයි මේ කියන්නෙ. මම දකිනවා මුහුණ පොතේ තමන්ගේ ආදරවන්තයාට හෝ සැමියාට මගෙ මැණික, වස්තුව වගේ ආමන්ත්‍රණ සහිතව දාන පෝස්ට්. ඇත්තම කියනවා නම් ඕනවට වඩා හුරතල් වචනවලින් ආමන්ත්‍රණය කිරීම විශේෂයෙන් ස්ත්‍රී පැත්තට බර ආමන්ත්‍රණවලින් ඇමතීම ඒ පිරිමින්ගේ පෞරුෂයට ලොකු නරක බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඔබ පෙම්වතියක් නම් ඕනවට වඩා සූකිරි තවරපු වචනවලින් පෙම්වතාව අමතන්න යන්න එපා. ඊට වඩා පිරිමින් කැමති ඔවුන්ගේ පිරිමිකම උලුප්පලා දක්වන ආමන්ත්‍රණවලට. ඔවුන් හැමවිටම පිරිමිකමට ගෞරවය දක්වන සහ අවනත වන ගැහැනුන්ට ආකර්ෂණය වෙනවා, ආදරය කරනවා.
උදාහරණයක් හැටියට පිරිමියෙක් කැමතියි තමන්ට මැණික කියලා කතා කරනවට වඩා මගේ මහත්තයා කියලා කතා කරනවට. පිරිමියෙක්ට ආමන්ත්‍රණය කරද්දී , ආදරය කරද්දී ඒ පෞරුෂයට ඉඩ දෙන්න. පෞරුෂය අගය කරන්න. පිරිමිකමට ඉඩදෙන්න.
ඔබ පිරිමියාගේ චරිතය රඟපාන්න ගියොත් බොහොම සුකොමල ගැහැනියක් ඉදිරියේ ඔබේ ආදරය පරාද වෙනු ඇති. ඔහුට කරට අත දාන්න දෙන්න. ඔබ කරට අත දාලා ඔහු ඉනට අත දැම්මොත් මට ඒ පින්තූරය ලස්සන නෑ. පිරිමියාට පිරිමියා වන්න ඉඩ දෙන්න. ඒ ආක්‍රමණශීලීත්වය විඳින්න. ඔබ වැට කඩොලු බිඳගෙන ආක්‍රමණශීලී වීමට ගියහොත් පිරිමියාට පිරිමියා වන්නට ඉඩදෙන කාන්තාවක් හමුවේ ඔබ පරාද විය හැක. ආදරේ කියන්නෙ බොහොම ආකර්ෂණීය, ධනාත්මක සහ බලාත්මක හැඟීමක්. ඒ හැඟීම් වලට සුදුසු තැන දෙන්න.
තමන් ආදරය කරන තමන්ට වටිනාකියන පුද්ගලයෙක්ගේ ඇස් දෙක දිහා බලාගෙන මම ඔයාට ආදරෙයි කියලා කියන්න පුළුවන්කම නිර්භීතකමක්.
ඔහු හෝ ඇය කෙතරම් වටිනා කෙනෙක් දැයි අදාල පුද්ගලයාට හැඟවීම සහ දැනවීම අනිවාර්යයෙන් කළ යුතු දෙයක්. මෙන්න මේක කොහොමද කරන්නේ ?. මේක කරන්න පුළුවන් සරලම විදිහ තමයි ඒ ගැන පැවසීම. ඒ වගේම ඔහු හෝ ඇය සිතන්නේවත් නැති වෙලාවක ඒ කෙනා කැමති දෙයක් මහන්සි වෙලා හොයලා නැත්නම්, තමන් විසින් හදලා පුදුම කරවීම. ඒ වගේම විශේෂ දිනයන්වල අදාළ පුද්ගලයා කැමති දෙයක් තෑගි කිරීම සහ සැමරීම කියන එක කිසිම වේලාවක මග නොහැරීම. නිතරම අදාළ පුද්ගලයා ගැන සැලකිලිමත් බව දැනෙන්නට හැරීම. මේ කියන්නේ හැම රෙද්දටම ඇඟිලි ගැසීම නෙමෙයි.
තෑගි දීම ගැන කියද්දී මම සඳහන් කලා අදාල පුද්ගලයා කැමති දෙයක් කියලා. අපි හුඟක් වෙලාවට කාට හරි තෑගි දෙන්නෙ අපි කැමති දේවල්. නිකමටවත් හිතුවාද අපි කැමති එකට එයා කැමති වෙයිද කියලා. මට එහෙම තෑගි ඕන ඕනතරම් ලැබිලා තියෙනවා. ඇත්තටම ඒවා එක්කෝ අල්මාරි වල පල් වෙනවා. එහෙම නැත්නම් තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග බවට පත්වෙනවා. නමුත් මම කැමතියි මම ආස දේවල් කවුරුහරි තෑගි දෙනවට. ඉතින් මගේ ඒ අත්දැකීම නිසා මම අනිත් අයට තෑගි දෙනකොට අදාල කෙනා ආස දේවල් කොහොම හරි හොයා ගන්නවා. එයාට නැති දෙයක්, නැත්නම් ගන්න ආසාවෙන් ඉන්න දෙයක්, කන්න ආසාවෙන් ඉන්න දෙයක් ඔය මොන විදියට වුණත් ඒ තෑග්ග ලබන කෙනා ඒකට අවංකවම කැමති වෙන්න ඕනේ. අපි කාට උනත් තෑග්ගක් දුන්නහම එයාලා බොහොම කැමැත්තෙන් තමයි ඒක බාර ගන්නෙ. මමත් එහෙමයි. නමුත් මූනිච්චාවට එහෙම අගය කරලා පැත්තකට දාන තෑගි කොච්චර තියෙනවද ?. ලොකුම කරුමය තමයි ඇඳුම් තෑගි විදිහට ලැබීම ?
කාට හරි තෑග්ගක් දෙනකොට අපි කියනවා මම ඉතින් දෙන්නේ මම කැමති එකක් කියලා. නමුත් දෙන්න ඕනේ මම කැමති එකක් නෙමෙයි මම ලබන්න කැමති එකක්. මොකද අපි ලබන්න කැමති හොඳම දේවල්. අපි එළියට දෙන්න කැමති වෙන්නේ අපි ළඟ තියාගන්න අකමැති දේවල්. හොඳම දේවල් ටික තියාගෙන විසික් කරන දේවල් අපි තෑගි දෙනවා. කාට එහෙම දුන්නත් තමන් ආදරේ කරන, රැකගන්න උවමනා කෙනෙකුට එහෙම කරන්න එපා. මං තෑගි දෙනකොට ඒ අදාල කෙනා ආස දෙයක් මම දන්නෙ නැත්නම් වටෙන් පිටෙන් හෝ දැනගෙන එහෙමත් නැත්නම් කෙලින්ම අහල දැනගෙන හිත සතුටු වෙන තෑග්ගක් දෙන්න තමයි උත්සාහ කරන්නේ.
ඒ වගේම තමන් ආදරය කරන කෙනා ඔයා වෙනුවෙන් එහෙම තෑගි ගේන කෙනෙක් නම් ඒ තරම් වටිනා කියන දේවල් කරන්න ඔයාට මුදල් නැත්නම් මහන්සි වෙලා එයා වෙනුවෙන් කෑමක් හරි හදලා දීලා එයාව සතුටු කරන්න. Take take take it all but you never give [Bruno Mars - Grenade song] ජාතියේ කෙනෙක් වෙන්න එපා. ඒක භෞතික වත් ආධ්‍යාත්මිකවත් දෙකටම නීතියක් හැටියට තියාගන්න.
(මේවා මගේ අත්දැකීම් සමගම විද්වතුන් ලියූ මනෝවිද්‍යා පොත් වලින් උපුටා ගත් කරුණු. මේවාට එකඟ වීම හෝ නොවීම තම තමන්ගේ වැඩක්. ලිපියෙන් ගන්න තියෙනවා නම් දෙයක් අරගෙන ගන්න දෙයක් නැත්නම් අමතක කරලා දාන්න. මොකද beauty කරුණු වලදි වගේ මේවට විරුද්ධ වුණා කියලා මම ඔයාලව සමූහයෙන් එළවන්නෙ නැහැ.මේකේ ඊළඟ ලිපිය තව මාසෙකින් විතර ගේන්නම් මේකට ඔයාලා දක්වන ප්‍රතිචාර අනුව. Speak to your soul කියන ඇල්බම් එකේ ලිපි කියවන්න )
පිරිමියාට පිරිමියෙක් වන්නට දෙන්න.
පිරිමියෙකුගේ පිරිමි සුවඳ ට ආදරය කරන්න.
ගැහැණියක සතු මටසිළුටු ගති රැකගන්න.
සුවඳවත් ගැහැනියක් වන්න.
❤ රපුන්සල් ❤
Facebook