Sunday, April 28, 2024
Follow Us
Vampire Facial  - PRP (Platelet- Rich- Plasma )

වැම්පයර්ලා ගැන අහල තියෙනවද ? මම හිතන්නේ එයාල ගැන නම් නොදන්න කෙනෙක් නෑ. ප්‍රසිද්ධම vampire තමයි Dracula. ජීවත්වීම සඳහා මිනිසුන්ගේ ලේ උරා බොන අමනුෂ්‍ය කොට්ඨාසයක් හැටියට තමයි අපි වැම්පයර්ලා හඳුනගෙන තියෙන්නේ.


ඉතින් මේ කියන සත්කාරයට ඒ නම වැටිලා තියෙන්නේ මිනිස් රුධිරය පාවිච්චි කරල මේ සත්කාරය කරන නිසයි.
මිනිස් රුධිරය හැදිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් plasma , red blood cells , white blood cells සහ platelets වලින්. ඉතින් අපේ ඇඟේ රුධිරය ලබාගෙන එයින් මේ ප්ලාස්මා කියන කොටස වෙන්කරගෙන එය ඉතා සියුම් ඉදිකටුවක් වැනි තුඩකින් ශරීරයේ මේ ප්‍රතිකාරය අවශ්‍ය තැන්වලට inject කරලා ඒ අදාල ස්ථානය සුව කිරීමට හෝ අලුත්වැඩියා කිරීමට මෙම ප්‍රතිකාරය පාවිච්චි කරනවා.
සම හා සම්බන්ධව ගත්තාම මේ ප්‍රතිකාරය තුළින් කොලජන් සහ ඉලාස්ටින් වල තත්ත්වය ඉහළ නංවනවා වගේම ඒවා පළුදු වී ඇත්නම් යථා තත්ත්වයට පත්කිරීමේ හැකියාවකුත් මේ ප්‍රතිකාරයට තියෙනවා. ඒ වගේම කුරුලෑ කැලැල් වලටත් මෙය හොඳ ප්‍රතිකාරයක්. microneedling ප්‍රතිකාරයට සාපේක්ෂව කැළල් සඳහා PRP කිරීමේදී ඇතිවෙන අතුරු ආබාධ වල පැවැත්ම ඉතා කෙටියි. මුහුනේ ඇතිවන රැලි (wrinkles) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට තරම් මෙම ප්‍රතිකාරය ප්‍රබලයි.
මෙහි ප්‍රධානම වාසිය තමයි මේ සඳහා පාවිච්චි කරන්නේ තමන්ගේ ම රුධිරය වීම. ඒ කියන්නේ fully organic. ඒ නිසා ශරීරය තුළින් ප්‍රතික්ෂේප වීමක් (allergies ) මේ ප්‍රතිකාරයේ දී සිදුවන්නේ නෑ. සමේ එල්ලා වැටෙන ස්වභාවය පවා බොහෝ දුරට අඩු කරල සමේ ඇදෙන සුලු තද ගතිය නැවත ඇති කිරීමට මෙම ප්‍රතිකාරය උපකාරී වෙනවා. වයසට යනකොට ඒ බව මුහුණින් සහ සමෙන් බාහිරට පේන එක වළක්වා ගැනීමට ශල්‍යකර්ම වලින් තොරව තියෙන ආරක්ෂිත, සාර්ථක සහ මිල අධික ක්‍රමයක් තමයි මේ vampire facelift.
ඒ වගේම තමයි under eye dark circle and eye bags වලටත් මේ ප්‍රතිකාරය ඉතාම සාර්ථකයි.
ශරීරයේ ඕනෑම තැනකට මෙම ප්‍රතිකාරය ලබාදිය හැකියි. මේ සඳහා ඔබ ඉතාමත් හොඳ සමබර ආහාර වේලක් ගන්නා හොඳින් ජලය පානය කරන නිරෝගි අයකු විය යුතුයි. මේ ප්‍රතිකාරයෙන් පසු දින දෙකක් පමණ යනකල් ව්‍යායාම කිරීම, සහ හිරු එළියේ ඇවිදීම, උණුවතුර ස්නානය දහදිය දමන කාර්‍යයන් ආදී දේවල් නොකළ යුතුයි. ඒ වගේම ප්‍රතිකාර කළ ස්ථාන කැසීම හෝ ඇල්ලීමෙන් පරිස්සම් විය යුතුයි. ඉතාමත් පිරිසිදු තුවා පාවිච්චි කළ යුතුයි. අවම වශයෙන් ප්‍රතිකාරයෙන් පසුව පැය හයක්වත් මූණ සේදීම පවා නොකළ යුතුයි. මෙම ප්‍රතිකාරයෙන් ඇතිවෙන ඉදිමීම් සහ රතු වීම් දින කීපයක් පැවතිය හැකි හෙයින් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. එමෙන්ම ඔබ ඇල්කොහොල් පාවිච්චි කරන්නෙකු නම් දින හතක් යනතුරු එයින් වැළකී සිටීමට සූදානම් විය යුතුයි. පාවිච්චි නොකළ යුතු ඖෂධ ගැන සහ පාවිච්චි කළ යුතු ඖෂධ ගැන මෙම ප්‍රතිකාරය කරන වෛද්‍යවරයා ඔබට නියම කරනු ඇති.
එමෙන්ම මෙම ප්‍රතිකාරය කළ යුතු වාර ගණන සහ එම වාර අතර පරතරය තීරණය කරන්නේ ඔබේ වෛද්‍යවරයායි. මෙම ප්‍රතිකාරය කිරීමේදී ඇතිවෙන වේදනාව නැති කිරීම සඳහා හිරිවැටීමේ ආලේපන පාවිච්චි කරනවා.
ඉතින් මේ දවස්වල අපි කතා කරගෙන ආවේ වයසට යාමට විරුද්ධව නෙමෙයි වයසට යාමේ පෙනුමට විරුද්ධව අපට කළ හැකි දේවල් ගැනයි. මීට කලින් ඒ ගැන ලිපි කිහිපයක් අපි පළ කළා. මේ ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් comment කරලා ඔයාලට අහන්න පුළුවන්. ඉන්බොක්ස් ඇවිල්ලා මේක කරන්න පුලුවන් තැන්, මිල ගණන් සහ වෛද්‍යවරු ගැන මගෙන් අහන්න එපා. මොකද මම මේක කරල නැහැ. නමුත් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. cosmetic surgeon සහ dermatologist ල මෙම ප්‍රතිකාර කරනවා.
ඒ වගේම මේ මුහුණු පොතේ කිසිම තැනක මීට කලින් මෙම සත්කාරය ගැන විස්තරාත්මක ලිපියක් මම දැක්කේ නැහැ... මේකෙ කරුණු සොරකම් කරලා තමන්ගෙ වගේ ලියන්න ආසාවක් ඇතිවෙනවා නම්... ඒක පරම්පරාගත ජාන වලින් එන හොරකමක උත්තේජනයක් කියලා මම තීරණය කරනවා.

(Beauty Secrets with Rapunzel)