Friday, April 19, 2024
Follow Us
තරුණ වයසේදීම හිස කෙස් සුදු වෙලා

මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුවියක්මි. වයස අවුරුදු 18 දී පමණ මාගේ හිස කෙස් සුදු වීමට පටන් ගත් අතර දැන් මුළු කෙස් කලඹෙහිම වාගේ හිස කෙස් සුදු ය. මේ ගැටලුව නිසා මා දැඩි අපහසුතාවට පත්වේ. මේ නිසා මට විවාහයක් කර ගැනීමට පවා නොහැකි වේ යැයි බියක් දැනේ. මට පීනස තත්ත්වයක් ද නැත. මුලදී කෙස් ගස් එක දෙක සුදු වෙද්දී මම එතරම් ගණන් නොගත්තෙමි. තරුණ වයසේ දීම මෙවැනි ගැටලුවකට මුහුණ දෙන්නට සිදු වීම ගැන මා පසු වන්නේ දැඩි කනගාටුවකිනි.

පොල්ගහවෙල - සුරේනි

 

පිළිතුර

වයසට යන්නත් කලින් සුදු කෙස් ගස් මතු වීම ගොඩක් තරුණ තරුණියන්ට ගැටලුවක්. ගොඩක් වෙලාවට සෙම පීනස වගේ තත්ත්වයන්වලදීත්, කොණ්ඩය කෘත්‍රිම ආකාරයට සැකසීමේදීත් මේ වගේ සුදු කෙස් ගස් එන්න පටන් ගන්නවා.

මේකට ජානමය බලපෑමකුත් තියෙනවා. අවුරුදු පහළොව, දාසය වගේ වයස්වල තරුණ තරුණියන්ගේ පවා අකලට ඉදුණු හිසකෙස් තියෙනවා. බොහෝ විට මේ තත්ත්වයට හේතුව ජානමය බලපෑමකි. මීට අමතරව තවත් හේතු කීපයක් අකලට හිසකෙස් පැසීමට බලපානවා.

ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපාන රෝගී තත්ත්වයන් නිසා සෛල වලට වන බලපෑම මත වර්ණක නිපදවන සෛල දුර්වල වීමෙනුත් අකලට හිසකෙස් පැසීම සිද්ධ වෙනවා.

නමුත් මේක ඉතාම කලාතුරකින් සිද්ධ වෙන්න පුළුවන් කාරණාවක්.

තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇති වෙන රෝගී තත්ත්වයන් නිසාත්, දෙවැනි ගණයේ දියවැඩියා තත්ත්වයක් නිසාත් හිසකෙස් සුදු වෙන්න පුළුවන්. දීර්ඝ කාලීන මානසික පීඩන තත්ත්වයත් හිසකෙස් අකලට පැසීමට බලපාන බවට මතයක් තියෙනවා.

අනිත් කාරණය නම් විටමින් බී12, විටමින් ඊ සහ සින්ක් ඌනතාව. හිසකෙස් වර්ණක නිපදවීමට අවශ්‍ය සෛලවල පැවැත්මට

පෝෂණ කොටස් නොලැබීම හිසකෙස් අකලට පැසීමට බලපානවා.

දීර්ඝ කාලීන පීනස නිසාත් හිසකෙස් සුදු වෙන්න පුළුවන්.

ජානමය තත්ත්වයක් මත ඇති වෙන අකලට හිසකෙස් පැසීමට නම් මේ වනතුරු ප්‍රතිකාරයක් හොයාගෙන නැහැ.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

තිරාණි පීරිස්

(Tharunie)