Tuesday, May 14, 2024
Follow Us
මේ කෑම කැවොත් කොණ්ඩෙ වවා ගන්න අමාරුවක් නැහැ...

සොඳුරු කෙස් කළඹක් ලබාගන්න හැමෝම කැමතියි. මේ නිසා ඔබ නොකරන දෙයක් නැතුව ඇති. ඉතින් සුන්දර කෙස් කළඹක උරුමකාරිය වන්නට කැමැති ඔබ ගත යුතුම ආහාර වර්ග කිහිපයක් ගැන පෝෂණවේදීන් සඳහන් කරන්නෙ මෙන්න මේ විදිහටයි.

බිත්තර
බිත්තරවල ප්‍රෝටීන්, බයොටීන් වගේම සින්ක්, සිලේනියම් යන ලෝහ වර්ගද අඩංගුයි. කෙස්වල පැවැත්මට වැඩියෙන්ම උදව් වන්නේ ප්‍රෝටීන්. ඒ නිසා සිරුරේ ප්‍රෝටීන අඩු වුණොත් කෙස් හැලෙනවා. හිසකෙස් සඳහා කෙරටීන් අත්‍යවශ්‍ය ප්‍රෝටීන් වර්ගයක්. කෙරටීන් හැදෙන්නට බයොටින් අවශ්‍යයි. බයොටින් වැඩියෙන් ගැනීම කෙස් වර්ධනයට හේතු වෙනවා. ඒ නිසා කෙස්වල නිරෝගී බවට සහ වර්ධනයට බිත්තර කොතරම් වැදගත් වෙනව ද කියලා බලන්න.

 

පලතුරු
පලතුරුවල විටමින් සී බොහෝ සෙයින් අඩංගුයි. ඒ වගේම එහි පවතින ප්‍රතිඔක්සිකාරක ගුණය කෙස් රැකීමට බෙහෙවින් ඉවහල් වෙනවා. හිසකෙස් කැඩී බිඳී යෑම වළක්වන්න උපකාරී වන කොලජන් නිපදවන්නේ විටමින් සී උපයෝගී කරගෙනයි. විටමින් සී සිරුරට යකඩ උරා ගැනීමට උපකාර වන අතර හිසකෙස් හැලී යෑමට හේතුවන රක්තහීනතාව වළක්වන්නටත් විටමින් සී වලට පුළුවන්.

 

තෙල් සහිත මාළු
හිසකෙස් වර්ධනයට උපකාර වන තෙල් සහිත මාළුවර්ග අතර සැමන්, හුරුල්ලන්, මැකරල් වැනි මාළු ප්‍රධානයි. මේවායේ ඔමේගා 3 මේද අම්ලය අඩංගුයි. එමගින් හිසකෙස් තුනී වීම සහ හැලීම අඩු කරනවා. ඒ වගේම හිසකෙස්වල පෝෂණයට බලපාන ප්‍රෝටීන් වර්ග සෙලේනියම් සහ විටමින් බී ද මේ මාළුවල අඩංගුයි.

 

නිවිති
නිවිතිවල ෆෝලික් අම්ලය, යකඩ, විටමින් ඒ සහ සී බෙහෙවින් අඩංගුයි. මේ සියල්ලම හිස කෙස්වල පෝෂණයට අවශ්‍යයි. ඒ වගේම හිසකෙස් නිරෝගී කරවන සීබම් නමැති පෝෂ්‍ය පදාර්ථය නිපදවා ගන්නට සමට උදව් වන්නේ විටමින් ඒ. ඒ වගේම යකඩ මගින් කෙස්වලට ලැබෙන පිටිවහල ඉහත සඳහන් කළා. නිවිති එක කෝප්පයකින් ඔබගේ දෛනික විටමින් අවශ්‍යතාවයෙන් 54% ක් සපුරාලන බව ඔබ දන්නවාද?

 

බතල
බතලවල බීටා කැරොටින් සංයෝගය අඩංගුයි. මේ සංයෝගය සිරුර තුළදී විටමින් ඒ බවට පරිවර්තනය වෙනවා. විටමින් ඒ නිසා සීබම් නිපදවෙන බව ඉහත දැක්වූවා. සීබම් නිසා හිස්කබල මනා තෙතමනයකින් නීරෝගීව පවතින අතර විටමින් ඒ නිසා හිසකෙස්වල වර්ධනය වැඩි වී ඝනකම ද වැඩි වෙනවා.

 

අලිපේර
මේදය සෑහෙන ප්‍රමාණයක් අඩංගු අතර විටමින් ඊ ද බෙහෙවින් පවතිනවා. විටමින් ඊ ද, විටමින් සී මෙන්ම ප්‍රතිඔක්සිකාරකයක්. මෙයින් හිසකෙස් වර්ධනය සිදුවන අතර හැලී යෑම අඩු වෙනවා.

 

ඉස්සන්
මෙහි අඩංගු ප්‍රෝටීන්, විටමින්, සින්ක්, යකඩ හිසකෙස් වර්ධනයට හේතු වීමට උපකාරී වෙනවා.

(Nawaliya)