Friday, September 18, 2026
Follow Us
අඩු ආදායම්ලාභී පවුල්වලට සමෘද්ධි බැංකු පද්ධතිය හරහා රුපියල් මිලියන 70,000ක ණය පහසුකම්

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව අස්වැසුම ප්‍රතිලාභී පවුල් හා අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ ක්‍රියාවලිය  ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබේ.

ඒ අනුව, 2029 වන විට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වීමේ ඉලක්කය සහිතව සවිබල ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම, නෙක්ස්ට් ශ්‍රී ලංකා වැඩසටහන හරහා අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන්ට රැකියා පුහුණු පාඨමාලා සඳහා ණය පහසුකම් සැලසීම, ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් මගින් ස්වයං රැකියා සඳහා පුහුණු වැඩසටහන් හා විවිධ උපකරණ ලබාදීම, කුඩා ව්‍යාපාර සඳහා ක්ෂුද්‍ර ණය පහසුකම් ලබාදීම, සුව බොජුන්හල් වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා උදාකර දීම, නිවාස අහිමි අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබාදීම සහ පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැනි ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී.

එසේ ක්‍රියාත්මක වන සවිබලගැන්වීමේ වැඩසටහන් ක්‍රමවත් හා වේගවත් කිරීමේ අරමුණින් "ප්‍රජා සවියට නව බලයක්" වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. ඒ යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන 21,000ක් පමණ වන සේවක මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක කර ඇත.

එහි මාතර හා හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන පසුගිය 16 වැනිදා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

සමුළුව අමතමින් අමාත්‍ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කළේ, ජනතාව යැපුම් මානසිකත්වයෙන් මුදවාගෙන ස්වාධීන මෙන්ම සමාජීය හා ආර්ථික වශයෙන් ශක්තිමත් පුරවැසියන් බවට පරිවර්තනය කරමින් වර්තමාන පරම්පරාව තුළදීම මෙරට දිළිඳුකම අවසන් කිරීම රජයේ ප්‍රධාන ඉලක්කය බවයි. ඒ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වර්තමාන සමාජ, දේශපාලන හා ආර්ථික අවශ්‍යතාවලට මෙන්ම මහජන අභිලාෂයන්ට ගැළපෙන පරිදි පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

තවද, පසුගිය වසරේදී සමෘද්ධි බැංකු පද්ධතිය හරහා රුපියල් බිලියන 60ක පමණ ණය ප්‍රමාණයක් ජනතාව වෙත ලබාදී ඇති අතර, ඉදිරි වසරේදී එම ප්‍රමාණය රුපියල් බිලියන 70 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන ප්‍රජාව සවිබලගැන්වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඩොලර් මිලියන 100ක විශේෂ ආධාර වැඩසටහනක් මෙම වසර අවසානයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් කළ අමාත්‍යවරයා, සමෘද්ධි බැංකු 1,097ක් සහ බැංකු සමිති 336ක් සතුව පවතින රුපියල් බිලියන 600කට ආසන්න මහජන වත්කම් නැවත ජනතාව සවිබලගැන්වීම සඳහා යොදවනු ලබන බවද අවධාරණය කළේය.

මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ මහතා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දම්මික මුතුගල මහතා, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරුන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරු හා නියෝජ්‍ය අධ්‍යක්ෂවරු, සමෘද්ධි දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන්, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල සමෘද්ධි බැංකු කළමනාකරුවන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.