Tuesday, September 17, 2024
Follow Us
වී සඳහා ඉහළ මිලක්

වී සඳහා ඉහළ මිලක් ලබා දීමට හැකිවීම ජයග්‍රහණයක් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6000ක මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබේ. එහි පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 500ක මුදලක් වී අලෙවි මණ්ඩලයට ලබා දුන් අතර එම මණ්ඩලය ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා ගබඩා 36කට ආසන්න ප්‍රමාණයක් විවෘත කර තැබීය.
නමුත් මේ වනතෙක් වී අලෙවි මණ්ඩලයට ගොවීන් අලෙවි කර තිබෙන්නේ වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් තරම් සුළු ප්‍රමාණයක් බව එම මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි.
කෙසේ වුවද වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමග පුද්ගලික අංශය ඉහළ මිලකට වී මිල දී ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇත. ඒ අනුව රුපියල් 105-110ත් අතර පැවැති කීරි සම්බා වී කිලෝවක මිල මේ වනවිට රුපියල් 130 ඉක්මවා ඇත. එමෙන්ම මේ රටේ පළමු වතාවට සම්බා වී කිලෝවක මිල ද රුපියල් 130 ආසන්නයට පැමිණ තිබේ. මේ නිසා ගොවීන්ගේ වී අස්වනු සඳහා ඉහළ මිලක් මෙවර යල කන්නයේ දී ලැබී ඇති බව වාර්තා වන බව ද සභාපතිවරයා පැවසීය.
කෙසේ වුවද වී අලෙවි මණ්ඩලයට වී නොලැබුනත් ගොවි ජනතාවගේ වී වගාව සඳහා ඉහළ මිලක් ලබා දීමට වී අලෙවි මණ්ඩලයට හැකිවීම ජයග්‍රහණයක් යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
වී අලෙවි මණ්ඩලය පිහිටුවා තිබෙන්නේ ගොවි ජනතාවගේ වී මිල දී ගැනීම සඳහාම නොවන බවත් වී ගොවියාත්, පාරිභෝගිකයාත් දෙදෙනාම ආරක්ෂා කරමින් සහල් මිල ස්ථාවරව පවත්වා ගැනීම වී අලෙවි මණ්ඩලයේ පරමාර්ථය බවත්, මෙවර යල කන්නයේ දී වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමග පුද්ගලික අංශය ඉහළ මිලකට වී මිල දී ගැනීමට කටයුතු කිරීම මගින් රජයේ අභිප්‍රායයන් ඉෂ්ඨ වූ බව ද අමාත්‍යවරයා පවසයි.
පුද්ගලික අංශය විසින් ලබා දෙන්නේ අවම මිලක් නම් රජය නියම කරන ලද මිල ගණන් යටතේ වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීමට රජය සූදානම් බවත්, ඒ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.