Wednesday, September 18, 2024
Follow Us
ජනවරම ඉල්ලන්නේ වෙනසක් නොව රට තුළ විප්ලවයක්සිදු කිරීමටයි- ජනපති රනිල්
  • රනිල් රාජපක්ෂ කියා මට චෝදනා කළත් මා සිදු කළේ එජාප ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමයි
  • සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෙක් නම් රට ගොඩනඟන වැඩපිළිවෙළ සමඟ එක් විය යුතුයි
  • ගෝඨාභයට ඡන්දය දුන් පිරිසගේ විසඳුම මාලිමාවට ඡන්දය දීම නොවෙයි : රට දිනවීමට එක් වීමයි - ජනපති රත්නපුරේදි කියයි

මෙවර ජනාධිපතිවරණයේ දී තමන් ජන වරම ඉල්ලා සිටින්නේ “වෙනසක්” වෙනුවෙන් නොව රට තුළ විප්ලවයක් සිදු කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අපනයන ආර්ථිකයක්, කෘෂි නවීකරණය, ඩිජිටල්, හරිත සහ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් ඇති කරමින් නව ආර්ථිකයක් රට තුළ ගොඩනැගීමේ ආර්ථික විප්ලවය සිදු කරන අතරම අස්වැසුම, උරුමය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, කාන්තාවන් සවිබල ගැන්වීම සහ සමාජ සාධාරණත්ව කොමිසම ඇති කිරීම ඇතුළු සමාජ විප්ලවයත්, දුෂණ විරෝධි න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම, දිස්ත්‍රික් සංවර්ධන සභා  හා ජන සභා ඇති කරමින් කාන්තා හා තරණ නියෝජනය ඉහළ නැංවිමේ දේශපාලන විප්ලවයත් ඉදිරි වසර 05 තුළ ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (15) පස්වරුවේ රත්නපුරයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටී අතර ඔවුන් මහත්හරසරින් යුතුව ජනාධිපතිවරයාව පිළිගනු ලැබූහ.රට අසීරුතාවට පත්වූ අවස්ථාවේ එක්ව කටයුතු කිරීම අතීතයේ සිට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බවත් තම නායකයන්ගෙන් ලද පුහුණුව අනුව තමා එම ප්‍රතිපත්තිය අනුගමනය කළ බවත් පැවසු ජනාධිපතිවරයා සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෙක් නම් රට ගොඩනැඟීමේ වත්මන් වැඩපිළිවෙළට සහාය ලබාදිය යුතු බවද පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඡන්දය ලබා දුන් පිරිස ඇති වූ එම තත්ත්වය ගැන අමනාපයෙන් පසුවිය හැකි නමුත් ඊට විසඳුම මාලිමාවට ඡන්දය දීම නොව රට දිනවීමට එක්වීම බව පැවසූ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවද එම පක්ෂයේ බහුතරයක් රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට දායක වෙමින් සිටින බවද පැවසීය.