Wednesday, September 18, 2024
Follow Us
පාකිස්තානයේ විදුලි අර්බුදය දිග්ගැස්සෙයි

පාකිස්තානයේ පාරිපාලනය යටතේ පවතින ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ පවතින දැඩි විදුලි අර්බුදය හේතුවෙන් ජනතාව විරෝධතාවක නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අඛණ්ඩව විදුලිය සැපයීමට ප්‍රාන්ත රජය අසමත් වී ඇතැයි ද, දිනකට වාර ගණනාවක් විදුලිය බිඳ වැටීමෙන් ජන ජීවිතය මෙන්ම ව්‍යාපාරික කටයුතුවලටත් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි එම ප්‍රාන්ත ජනතාව රජයේ බලධාරින් විවේචනයට ලක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පාකිස්තානය පුරා මේ වනවිට පවතින දැඩි විදුලි හිඟයට හේතු වී ඇත්තේ ඉල්ලුමට සරිලන සැපයුමක් සිදු කිරීමට ප්‍රමාණවත් ආර්ථික ශක්තියක් රජයට නොමැති වීමෙන් බවත්, එම තත්ත්වය මත විදුලිය සැපයුම සීමා කිරීමට අමතරව අධික විදුලි ඉල්ලුම හේතුවෙන් දිනකට වාර ගණනාවක් විදුලිය බිඳ වැටෙන බවත් ප්‍රාන්ත ජනතාව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

පාකිස්තානයේ සෙසු ප්‍රාන්තවල මෙන්ම ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ ද විදුලි බිල ඉහළ දැමීමට මධ්‍යම රජය පසුගිය අප්‍රේල් මස පියවර ගනු ලැබුවද, මැයි මාසයේදී ජම්මු කාශ්මීර ජනතාව විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව ගෙන ගිය දැවැන්ත විරෝධතාව හේතුවෙන් නැවත විදුලි බිල සංශෝධනය කිරීමට රජයට සිදුවී තිබිණි.