Tuesday, September 17, 2024
Follow Us
සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීමට වැඩමුළු මාලාවක්

රේඛීය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල්වල ජීව වෛද්‍ය උපකරණ අවශ්‍යතා හදුනා ගනිමින් කාර්යක්ෂම හා ඵලදායි උපකරණ තෝරා ගැනිම වැඩිදියුණු කිරිමට සහ ප්‍රමුඛතා නිර්ණය කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා කටයුතු කරන ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව  සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක  කෙරෙන ජාල පාදක පද්ධතිය (web-based system) පිළිබදව සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීමට වැඩමුළු මාලාවක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම වැඩමුළු මාලාවේ තෙවන වැඩමුළුව පසුගියදා පොළොන්නරුව චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වකුගඩු රෝග විශේෂඥ රෝහලේ (China-Sri Lanka Friendship National Nephrology Specialized Hospital)  ශ්‍රවණාගාරයේ දී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ ජීව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජනප්‍රිය කරුණාරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා 1)  විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

ජීව  වෛද්‍ය උපකරණ සඳහා අවශ්‍යතා තක්සේරු කිරීම සහ ප්‍රමුඛතා ආකෘතියක් Workshop on Need Assessment and Prioritization Model (NAPM) ලෙස පැවැත්වෙන මෙම වැඩමුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශය සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා I) අංශය ඒකාබද්ධව සංවිධානය කරනු ලබයි.

මෙම අවස්ථාවට දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ රෝහල් සදහා උපකරණ ලබාගැනීමේ දී ප්‍රමුඛතාවන් සහ අවශ්‍යතාවයන් නිවැරදිව තේරුම් ගෙන අත්‍යාවශ්‍ය උපකරණ රෝහල් වලට ලබා ගැනීමට කටයුතු කිරීම මගින් සෞඛ්‍ය සේවාවේ අනවශ්‍ය වියදම් අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවයි. වැයවන මුදල, අවශ්‍යතාවය, රෝගීන්, උපකරණ අළුත්වැඩියාව යන කරුණු පිළිබදව ද අවධානය යොමු කළ යුතු බවත්, රෝහල් කාර්ය මණ්ඩලය ඉලක්ක කරගෙන සිදු කරනු ලබන මෙම පුහුණු වැඩමුළුව තුලින් ඒ පිළීබද විශාල දැනුම් සම්භාරයක් ලබාගත හැකි වනු ඇති බවද පැවසීය. ජීව වෛද්‍ය උපකරණ සදහා වෙන් කරනු ලබන මුදල් කළමනාකරණය කර ගැනීම ඉතා වැදගත් කරුණක් වන බව ද පෙන්වා දෙන ලදි.

මෙම වැඩමුළුව සදහා උතුරු පළාත, නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාත නියෝජනය වන පරිදි රේඛීය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල්වල රෝහල් අධ්‍යක්ෂවරු, නියෝජ්‍ය අධ්‍යක්ෂවරු, සැළසුම්කරණ වෛද්‍ය නිලධාරින්, ප්‍රධාන හෙද පාලිකාවන්, විශේෂ ශ්‍රේණීයේ හෙද සොයුරියන්, ජීව වෛද්‍ය උපකරණ ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ නියෝජිතයින්, ඖෂධවේදීන් වැනි මෙම ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ වන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහභාගි කර ගෙන තිබුනි.