Thursday, March 28, 2024
Follow Us
නාගරික ගෙවත්තක ඉඟුරු වවන්නේ කොහොමද?

කොරෝනා වසංගතයත් සමඟම මෙරට ඉඟුරු පරිභෝජනයත් ඉහළ ගියා. ඒ නිසාම වෙළෙඳපොළ තුළ ඉඟුරු සඳහා හොඳ වටිනාකමක් මෙන්ම ඉහළ ඉල්ලුමක් ද ඇති වුණා. ඒවාගේම බොහෝ දෙනෙක් තමන්ට හැකි පරිදි ඉඟුරු ගස් කිහිපයක් හෝ වගා කරන්නට පෙළඹුණා. තට්ටු නිවාසයක ජීවත්වන පුද්ගලයා පවා බඳුනක හෝ ඉඟුරු පඳුරක් වවාගන්නට අමතක කළේ නැහැ.

ඇත්තටම ඉඩකඩ සීමිත නාගරික ගෙමිදුලක පවා බඳුන්ගතව ඉඟුරු සාර්ථකව වගා කළ හැකියි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නව කෘෂි තාක්ෂණික උපක්‍රම අත්හදා බැලීමක් ලෙස ඉවතලන පොලිසැක් මලු භාවිත කරමින් සාර්ථකව ඉඟුරු වගා කළ හැකි බව හඳුනාගෙන තිබේ. මෙහිදී හාල්, සීනි, පිටි වැනි ආහාරද්‍රව්‍ය ගබඩාකර ඉවතලන පොලිසැක් මලු (පොලිප්‍රොපිලින් මලු) හොඳින් පිරිසුදු කර වගාව සඳහා යොදාගනු ලැබේ.

පාත්තියක ඉඟුරු වගා කරනවාට වඩා පොලිසැක් මල්ලක වගා කිරීමෙන් ඉහළ අස්වැන්නක් නෙළාගත හැකිය. ඊට ප්‍රධානතම හේතුව වන්නේ ඉඟුරු වගාවට ඉතාම හිතකර තත්ත්ව වන බුරුල් කාබනික ද්‍රව්‍ය බහුල මනා ජලවහනයක් සහිත පසක් එමඟින් ලබාදිය හැකි වීමයි.

පොලිසැක් මල්ල යනු තනි වගා ඒකකයකි. එබැවින් පෝෂක අපතේ යාමක් සිදු නොවේ. සීමිත ඉඩක් සහිත නාගරික ප්‍රදේශයක පවා පහසුවෙන් වගා කළ හැකි අතර නිවෙසක කොන්ක්‍රීට් තට්ටුවක් මත වුවද සාර්ථක වගාවක් පවත්වාගෙන ගිය හැකිය.

එමෙන්ම මෙලෙස වගා කිරීමේ දී ලෙඩ රෝග පැතිරීම ද අඩුය. මලු අතර අඩි දෙකක පමණ පරතරයක් තබා ගැනීමෙන් රෝග පැතිරීම අවම වන අතර එලෙස රෝගී වුවහොත් එම බඳුන වගාවෙන් ඉවත් කිරීමේ පහසුවද ඇත.

ඊට අමතරව මේ පොලිසැක් මලුවල සිටවූ ඉඟුරු වගාව නඩත්තුව ද පහසුය. ජලය යෙදීම, වල් මර්දනය, පොහොර සැපයීම ආදිය කාර්යක්ෂමව කළ හැකි අතර දැල් ආවරණ යොදමින් කෘත්‍රිම සෙවණක් වුවද ලබාදිය හැකියි.

ඉඟුරු වගාවට පොලිසැක් මල්ලක් තෝරා ගැනීමේ දී කිලෝ ග්‍රෑම් 50 හෝ 25 මලු තෝරා ගැනීම සුදුසුය. ඊට අමතරව කිලෝග්‍රෑම් 05, 10 වැනි මලුවලද ඉඟුරු වගා කළ හැකි වුවත් මල්ල කුඩා වනවිට ඉඟුරු අල හට ගැනීම ප්‍රමාණවත් ඉඩක් නොමැතිව අස්වැන්න අඩුවිය හැකියි.

මෙම පොලිසැක් මලුවලට අමතරව ඔබට වගාමලු (growbags) සහ සාමාන්‍ය පොලිතීන් උරවල ද ඉඟුරු වගා කළ හැකියි. එහිදී අමතර ජලය පහසුවෙන් ගලායෑමට සහ බඳුන් මාධ්‍යයට අවශ්‍ය වාතය සැපයීමට ප්‍රමාණවත් පරිදි මලුවල සිදුරු සකස් කිරීම අත්‍යාවශ්‍ය වේ. නමුත් පොලිසැක් මලු සඳහා එවැනි සිදුරු සැකසීමක් අවශ්‍ය නොවන බැවින් අමතර වෙහෙහසක් දැරීම ද සිදු නොවේ.

 

 

ඔබ බඳුන්ගත ඉඟුරු වගාවක් කරන්නේ නම් හොඳ වගා මිශ්‍රණයක් සකසා ගැනීම ඉතාම වැදගත්. එහිදී,

* වැලි

* ගොම පොහොර හෝ කොම්පෝස්ට්

* කොහුබත්

* මතුපිට පස්

ආදිය සමාන ප්‍රමාණවලින් ගෙන හොඳින් මිශ්‍රකර වගා මාධ්‍යය සකසාගන්න. එසේ නැතිනම් අඩු වියදම් වගා මාධ්‍යයක් ලෙස,

* මතුපිට පස්

* ගොම පොහොර හෝ කොම්පෝස්ට්

* පිළිස්සූ දහයියා

සම ප්‍රමාණවලින් ගෙන මිශ්‍ර කර භාවිත කරන්න.

ඔබ මතුපිට පස් ලබාගන්නේ මෙයට ප්‍රථම වගාවක් සිදු කළ ස්ථානයකින් නම් එයට කැප්ටාන් වැනි දිලීර නාශකයකින් ප්‍රතිකාර කිරීම වඩා සුදුසුය.

බඳුන් මිශ්‍රණය පිරවීමට පෙර ඔබ වගාව සඳහා යොදාගන්නා පොලිසැක් බෑගයේ උසින් බාගයක් වනසේ පිටතට නවාගන්න. අනතුරුව ඉහත සඳහන් පරිදි සකසාගත් වගා මිශ්‍රණය බෑගයේ ඉහළ දාරයේ සිට අඟල් 04 ක් පමණ වනතෙක් පුරවාගන්න. අනතුරුව මෙම වගා මිශ්‍රණය පුරවාගත් බඳුනකට ටී. එස්. පී. (ට්‍රිපල් සුපර් පොස්පේට්) ග්‍රෑම් 06 ක් එකතුකර අඟල් 20 ක් ගැඹුරට පසට කලවම් වනසේ කෝටුවක් ආධාරයෙන් හොඳින් මිශ්‍ර කරන්න.

 

බීජ සිටුවීම

සාමාන්‍යයෙන් සිටුවීම සඳහා නිරෝගී ඉඟුරු බීජ තෝරා ගතයුතුය. මෙහිදී කිලෝග්‍රෑම් 50 ක බෑගයක් සඳහා ඉඟුරු ග්‍රෑම් 100 ක් පමණ අවශ්‍යවන අතර එය සමාන ෙකාටස් තුනකට බෙදාගන්න. අනතුරුව වගා බඳුනෙහි ත්‍රිකෝණාකාර ලෙස (සමාන දුර) ස්ථාන තුනක අඟල් 3 - 4 ක් ගැඹුරට ඒවා සිටුවාගන්න.

 

පැළ සිටුවීම

බඳුන්ගත ඉඟුරු පැළ අලෙවියට ඇති නිසා වර්තමානයේ දී බීජ වෙනුවට පැළ සිටුවීම ද දැකිය හැකියි. මෙහිදී පැළ නිපදවීම සඳහා යොදාගන්නා බිජ අල ප්‍රමාණය ග්‍රෑම් 10 ක් හෝ ඊට වඩා අඩුවන බැවින් එක් පොලිසැක් මල්ලක පැළ 4 ක් පමණ සිටුවාගත යුතුය. එමෙන්ම මාස 2 - 3 ක් පමණ වර්ධනය වූ පැළයක් සිටුවන බැවින් කෙටි කාලයකින් අස්වනු ලබාගත හැකිවීම මෙහි වාසියකි.

 

පොහොර යොදා ඉඟුරු වගාව රැකබලාගන්නා අයුරු ලබන සතියේ දී දැනගනිමු.

විශේෂ ස්තූතිය- දිශාන්ති කොඩිතුවක්කු

 

 

උපදෙස්

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ

මාධ්‍ය හා සන්නිවේදන අංශයේ

සහකාර අධ්‍යක්ෂ

අරුණ දිසානායක


(Tharunie)