Thursday, September 19, 2024
Follow Us
අගමැති,පොලිස්පති ආරක්ෂක කවුන්සිලයට නොකැඳ වූ හේතුව ජනපති පහදයි

අගමැති සහ පොලිස්පතිවරයා ඇතුළු කිහිපදෙනෙකුට ආරක්ෂක මණ්ඩලය තහනම් කළ හේතුව ඊයේ (12) ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ඒ සාරවත් දේශයක වාපි සංග්‍රාමය, එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

ආරක්ෂක මණ්ඩලයට පැමිණෙන ඇතැමුන් දුරකථන දෙක තුනක් ළඟ තබාගෙන ඒ දෙස බලාගෙන ඒවාට ඇන ඇන සිටින බව ජනාධිපතිවරයා කියා සිටියේය.

ඔවුන් පමණක් නොව බොහෝ රාජ්‍ය නිලධාරීන්ගේ ස්වභාවයද එය බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

"රජයේ නිලධාරීන් මොකක් හරි රැස්වීමකට කැදෙව්වාම ඒගොල්ලන්ගේ අතෙත් ෆෝන් එක තියාගෙන ඇන ඇන ඉන්න එක තමයි කරන්නේ . ඇමති මණ්ඩලයට එන ඇමැතිවරුත් ෆෝන් එක තියාගෙන ඒකට ඇන ඇන ඉන්නවා.

මේ දවස්වල සාකච්ජාවට සංවාදයට ලක්වෙලා තිබෙන ජාතික ආරක්ෂක මණ්ඩලයට අයිති සමහර අයව එන එක තහනම් කෙරෙව්වේ ඒකට ආවහම වාඩිවෙලා ටෙලිෆෝන් දෙකක් තුනක් තියාගෙන ඒකට ඇන ඇන ඉන්න එක තමයි කරන්නේ. ඒක තමයි ඇත්ත තත්ත්වය. රටේ ජාතික ආරක්ෂාවට ගන්නා තීන්දු මොනවද ඒ මොකුත් නැහැ ෆෝන් දෙකක තියාගෙන ඒක දිහා බලාගෙන ඇන ඇන ඉන්නවා."

පාස්කු ප්‍රහාරයෙන් පසු ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් මතු වූ අතර නියමිත පරිදි සති පතා පැවැත්විය යුතු ආරක්ෂක කවුන්සිලය නිසිපරිදි කැඳවා නොමැති අතර ඊට අනිවාර්යයෙන් සහභාගී විය යුතු අගමැතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු කිහිපදෙනෙකුගේ පැමිණීම ජනාධිපතිවරයා විසින් අත්හිටුවා තිබූ බවද අනාවරණ විය.

එම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සභාවේ මේ වන විට සාක්ෂි ලබා දී ඇති හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් පැවසුවේද ආරක්ෂක කවුන්සිලයට සහභාගී වීමේ ව්‍යවස්ථාපිත බලය සහිත කිහිපදෙනෙකු ජනාධිපතිවරයාගේ දැනුවත් කිරීම මත නොකැඳ වූ බවයි.

මේ වන විට ජනාධිපතිවරයා ඊට පිළිතුරු දී තිබෙන අතර එහි සත්‍යතාවක් ඇත්නම් ජනධිපතිවරයාගේ උක්ත පැහැදිලි කිරීමම විවාදාත්මකය.

ජංගම දුරකථනය මුල් කරගෙන ජාතික ආරක්ෂාව අභියෝගයට ලක්වීම ඉතා බරපතල තත්ත්වයකි. එහෙයින් දැන් මේ චෝදනාව එල්ල වන අගමැතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක කවුන්සිලය තහනම් කලාපයක් බවට පත් වූ සියල්ලෝම එහි නිරවද්‍යතාව පැහැදිලි කළ යුතු වෙයි.

ජනාධිපතිවරයා පවසන දේ අභියෝගයට ලක්වන්නේ නම් දුරකථනයක් හේතුවෙන් ජාතික ආරක්ෂාව බිලි දීම කෙතරම් යුක්ති සහගතද යන්න ද පෙරළා ප්‍රශ්න කිරීමට සිදුවෙයි.

(LNW)