ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සකස් කරනු ලැබ ඇති සංකල්ප පත්‍රිකාව, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුව විසින් අනුමත කරන ලද ජාතික විෂය මාලා රාමුව සහ පාසල් පාදක ඇගයීම් හා තක්සේරුකරණ මාර්ගෝපදේශය මත පදනම්ව, 2026 වර්ෂයේදී ආරම්භ කරන ලද 1 ශ්‍රේණිය සඳහා වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත්, 2 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 2027 වර්ෂයේදී ආරම්භ කර ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ 2019 වර්ෂයේදී ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සකස් කිරීම ආරම්භ කරන ලද නව ජාතික විෂයමාලා රාමුව සහ එය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සඳහා 2023-03-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
කෙසේ වෙතත්, 2024 වර්ෂයේදී නව රජය බලයට පත් වන අවස්ථාව වන විටදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා 1, 6 සහ 10 ශ්‍රේණිවලට අදාළ මොඩියුල ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කර අවසන් කර තිබීම සැලකිල්ලට ගෙන, නව රජයේ ප්‍රතිපත්තීන් සමඟ යෝග්‍ය ගැලපීම් තහවුරු කර ගනිමින් නව ජාතික විෂය මාලා රාමුව 1 සහ 6 ශ්‍රේණි සඳහා පමණක් 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලදී. එසේම, 10 ශ්‍රේණියේ සිට වෘත්තීය විෂයයන් හඳුන්වා දීමට ද තීරණය කරනු ලැබ ඇත.
ඒ අනුව, යෝජිත ගැලපීම් සාධාරණීකරණය කරමින් අදාළ පාර්ශ්වයන් දැනුම්වත් කිරීම සඳහා සකස් කරනු ලැබ ඇති 'ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක්' සිදු කිරීමට අවශ්‍ය සංකල්ප පත්‍රිකාව 2025-10-22 දින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවට ඉදිරිපත් කර තිබේ. ඉන් අනතුරුව, 2026-01-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ පරිදි සාමාන්‍ය අධ්‍යාපනය සඳහා වන පුළුල් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ පළමු අදියර යටතේ සැලසුම් කරනු ලැබ ඇති 6 ශ්‍රේණිය සඳහා වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම 2027 වර්ෂය දක්වා කල් තැබීමටත්, 2026 වර්ෂයේදී 1 ශ්‍රේණිය සඳහා වූ නව විෂය මාලා ප්‍රතිසංස්කරණ පමණක් ක්‍රියාත්මක කිරීමටත් පියවර ගනු ලැබ තිබේ. ඉන් අනතුරුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහත සඳහන් පියවරයන් අනුගමනය කරනු ලැබ ඇත:
'ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක්' සිදු කිරීමට අදාළව සකස් කරන ලද සංකල්ප පත්‍රිකාව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සමාලෝචනය කර ප්‍රතිපත්තිමය නිර්දේශ සහිත නව සංකල්ප පත්‍රිකාවක් නැවත පිළියෙල කිරීම.
එලෙස නැවත පිළියෙල කරන ලද සංකල්ප පත්‍රිකාව 2026-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ස්ථාපිත කරන ලද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුව විසින් සහ විෂය මාලා ප්‍රතිසංස්කරණය, මානව සම්පත් සංවර්ධනය, අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ හා යටිතල පහසුකම් සංවර්ධනය, ඇගයීම හා තක්සේරුකරණය සහ මහජනතාව දැනුම්වත් කිරීම හා ප්‍රවර්ධනය යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ප්‍රධාන කුලුනු 05 යටතේ පිහිටුවනු ලැබ ඇති අනුකමිටු විසින් සමාලෝචනය කර තවදුරටත් නිරීක්ෂණ හා නිර්දේශ ලබා ගැනීම.
එකී නිරීක්ෂණ හා නිර්දේශ මත පදනම්ව, 2023 වර්ෂයේදී ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදනය කරනු ලැබ ඇති ජාතික විෂය මාලා රාමුව තවදුරටත් සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම.
ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාතික විෂය මාලා රාමුව සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ ආයතන සභාවේ අනුමැතිය ලබා ගැනීම.
ජාතික අධ්‍යාපන ආයතනයේ ආයතන සභාව විසින් අනුමත කරන ලද ජාතික විෂය මාලා රාමුව සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුවේ එකඟතාව 2026-08-13 දින ලබා ගැනීම.
2026 වර්ෂයේදී ආරම්භ කරන ලද ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තවදුරටත් ඉදිරියට කරගෙන යාමට හැකි වන පරිදි 2027 වර්ෂයට අදාළව 1 ශ්‍රේණියේ සහ 2 ශ්‍රේණියේ වාර 03ටම අදාළ ක්‍රියාකාරකම් පොත් සහ ගුරු මාර්ගෝපදේශ මුද්‍රණය කර සූදානම් කිරීම.
6 ශ්‍රේණිය සඳහා I, II සහ III වාර සඳහා වන මොඩියුල මෙන්ම වාර 03ටම අදාළ ගුරු මාර්ගෝපදේශ සූදානම් කිරීම.
ප්‍රාථමික හා ද්විතීයික සියලුම විෂයයන් සඳහා ජාතික අධ්‍යාපන ආයතනය විසින් ප්‍රධාන පුහුණුකරුවන් මේ වන විට පුහුණු කර ඇති අතර, පළාත් වශයෙන් ගුරු පුහුණුවට අදාළ සියලු සැලසුම් සකස් කිරීම.
පාසල් පද්ධතිය තුළ පවතින සම්පත් කළමනාකරණය කර ගනිමින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි වන පරිදි සකස් කරනු ලැබ ඇති පාසල් පාදක ඇගයීම් හා තක්සේරුකරණය පිළිබඳ ප්‍රතිපත්ති මාර්ගෝපදේශය, ඇගයීම් හා තක්සේරුකරණ අනුකමිටුව විසින් සකස් කර ජාතික මෙහෙයුම් කමිටුවේ අනුමැතිය ලබා ගැනීම.