2019 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයන් සහ මැතිවරණ කොමිසමේ නිළධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (06) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවැත්වේ. හෙට පෙ.ව. 8.30 වනවිට මෙම සාකච්ඡාව සඳහා පැමිණෙන්නැයි සියලු අපේක්ෂකයන් දැනුවත් කර ඇති බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හෙට දිනයේදී අවසන් වන අතර නාමයෝජනා භාර ගැනීම අනිද්දා පෙ.ව. 09 සිට 11 දක්වා සිදු කිරීමට නියමිතය. ඊට අදාල කරුණු සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිත වේ.
මේ වනවිට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 33 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. ඒ පිළිගත් දේශපාලන පක්ෂවලින් 16 දෙනෙකු සහ ස්වාධීන අපේක්ෂකයන් 14 දෙනෙකු වශයෙනි. මීට අමතරව පිළිගත් දේශපාලන පක්ෂ නොවන වෙනත් සංවිධානවලින් අපේක්ෂකයන් තිදෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.
(LNw)