Wednesday, May 15, 2024
Follow Us
ග්‍රීන් වැලි රෙසිඩන්සීස් අද අගමැති අතින් ජනතා අයිතියට

රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතීන් ලෙස මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් ඉදිකළ නිවාස යෝජනා ක්‍රම අතරින් පළමුවැන්න “ග්‍රීන් වැලි රෙසිඩන්සීස්” අද (12) පෙරවරු 10.00 ට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ඇරයුමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් රනාළ ජල්තරදී ජනතා අයිතියට පැවරේ.ජල්තර - ගොඩගම - අතුරුගිරිය මාර්ගයේ පනාගොඩ මංසන්ධියෙන් හංවැල්ල දෙසට හැරී කිලෝ මීටර් 4 ක් ගිය තැන මෙම නිවාස ව්‍යාපෘතිය හමුවේ. ග්‍රීන් වැලි නිවාස යෝජනා ක්‍රමය සීමාසහිත හෝම්ලෑන්ඩ් ස්කයිලයින් පෞද්ගලික සමාගම (Home Lands Skyline (Pvt) Ltd) සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඒකාබද්ධව ඉදිකරන ලදී.

මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම සහ එහි යටිතල පහසුකම් වෙනුවෙන් වැය කළ මුදල රුපියල් බිලියන 1.6 කි. අක්කර 8 ක භූමිභාගයක ඉදිවුණු මෙම මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතියේ මහල් නිවාස සංඛ්‍යාව 352 ක්. එය වර්ග අඩි 688 කින් යුතු කාමර 2 ක් සහිත නිවාස 288 කින් සහ වර්ග අඩි 1055 කින් යුතු කාමර 3 ක් සහිත නිවාස 64 කින් සමන්විතය. කාමර 2 ක නිවසක් රුපියල් ලක්ෂ 45 – 50 අතර මුදලකටත්, කාමර 3 ක නිවසක් රුපියල් ලක්ෂ 75 – 79 අතර මුදලකටත් අලෙවි කෙරිණි. නිවසක වටිනාකමින් 20% මූලික ගෙවීමකින් පසුව ඉතිරි වාරික ගෙවීම සඳහා බැංකු ණය පහසුකම් සකසා දෙනු ලැබීය.

මෙම නිවාස සංකීර්ණයට පිහිනුම් තටාක 2 ක්, කාය වර්ධන මධ්‍යස්ථාන 2 ක්, ව්‍යායාම සඳහා ඇවිදීමේ මංතීරුවක්, ළමා උයනක්, කුඩා වෙළෙඳ සංකීර්ණයක්, බහුකාර්ය ගොඩනැගිල්ලක්, දිවාසුරැකුම් මධ්‍යස්ථානයක්, නේවාසිකයන් හා අමුත්තන් සඳහා ඉඩකඩ ඇති රථගාලක් සහ පැය 24 පුරාම ක්‍රියාත්මක වන ආරක්ෂක සේවාවක් ඇතුළත්ය.

(Dinamina)