Saturday, January 23, 2021
Follow Us
2023 වසරේදී කහවලින් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක්

2023 වසරේදී කහවලින් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් කරා යාමේ රජයේ ඉලක්කය කරා 2022 වසරේදී ළඟා වීමට අපේක්ෂා කරන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවර්ධන) උපුල් රණවීර මහතා පවසයි.


ශ්‍රී ලංකාවේ 2019 වසරේදී හෙක්ටයාර් 923 ක පමණ කහ වගා කර තිබූ අතර එමගින් මෙට්ට්‍රික් ටොන් 9500 ක පමණ අස්වැන්නක් ලබා ගැනීමට හැකිවිය. මින් වියළි කහ මෙට්ට්‍රික් ටොන් 1500 ක් පමණ නිෂ්පාදනය කල හැකි විය.
ශ්‍රී ලංකාවේ සමස්ත වියළි කහ අවශ්‍යතාවය වසරකට මෙට්ට්‍රික් ටොන් 7500 ක් වන නිසා ඉතිරි අවශ්‍ය වියළි කහ ප්‍රමාණය ආනයනය කිරීමට සිදු විය. ඒ අනුව 2019 වසරේ දී කහ මෙට්ට්‍රික් ටොන් 5288 ක් ආනයනය කිරීමට සිදු වූ අතර ඒ සඳහා රුපියල් මිලියන 1142 ක් විදේශීය රටවලට ගෙවීමට සිදු විය. මෙයින් 90%ක පමණ ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන අත‍ර මියන්මාරය, චීනය වැනි රටවලින් සුළු ප්‍රමාණයක් ආනයනය කරනු ලැබීය.
එමෙන්ම ශ්‍රී ලංකවෙන් කැනඩාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව වැනි සංවර්ධිත රටවලට කහ අපනයනය කළ අතර 2019 වසරේදී වියළි කහ මෙට්ට්‍රික් ටොන් 116 ක් අපනයනය කර රුපියල් මිලියන 104 ක ආදායමක් ලබා ගැනීමට සමත් විය.
2019 වසරේ දෙසැම්බර් මස 06 වෙනි දින රජය ගැසට් නිවේදනයක් මගින් කහ අතුළු බෝග වර්ග 16 ක් ආනයන කිරීම සීමා කරමින් උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, බුලත් හා කුරුඳු ඇතුළු කුඩා අපනයන බෝග හා ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධන හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් කහ ආනයනය වෙනුවට රටේ කහ අවශ්‍යතාවය දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ අභියෝගය අපනයන කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව වෙත පවරා දුනි.
මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව මගින් වසර 2023 වන විට ශ්‍රී ලංකව දේශීය කහ වගාවෙන් ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙලක් අරම්හ කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියවේ වගා කරන කහවල Curcumin නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු වී තිබීම නිසා කහවල ඖෂධීය ගුණය ඉහල අගයක් ගනී. නමුත් ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන කහවල Curcumin 3% ට වඩා අඩු ප්‍රමාණයක් අඩංගු වන බව පර්යේෂණ මගින් සොයා ගෙන ඇත. නමුත් ශ්‍රී ලංකවේ වගා කරන කහවල අඩංගු Curcumin ප්‍රමාණය 3% ට වඩා වැඩි අගයක් පෙන්නුම් කරනු ලබන අතර එම ප්‍රතිශතය 7% දක්වා ඉහල යන අවස්ථා ද දක්නට ලැබේ.
ශ්‍රී ලංකාවේ කහ වගා කිරීමේදී තහනම් කරන ලද රසායනික ද්‍රව්‍ය හා කෘමි නාශක යොදා නොගැනීමත්, පරිසර දූෂණය සිදුවන ස්ථානවල කහ වගා නොකිරීම නිසා ඒවායේ බැර ලෝහ අඩංගු නොවීමත්, සෞඛ්‍ය ආරක්ෂිතව වගා කිරීමත් නිසා ශ්‍රි ලංකාවේ කහවල ඖෂධීය වටිනාකම ඉහළ මට්ටමක පවතී.
මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව මගින් වසර 2023 වන විට ශ්‍රී ලංකාව දේශීය කහ වගාවෙන් ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙලක් ආරම්හ කරනු ලැබීය.
2020 වසරේදී හෙක්ටයාර් 1500 ක අලුතෙන් කහ වගා කරමින් එහි පළමු ඉලක්කය කරා ළඟා වීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමත් විය.
මෙහිදී මහනුවර, අම්පාර, කෑගල්ල, ගම්පහ,කුරුණෑගල, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මූලිකත්වය දෙමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි කහ වගා කෙරිණි.
2020 වසරේ වගා කරන ලද කහවල අස්වැන්න මෙම වසරේ ජනවාරි මස අග, පෙබරවාරි සහ මාර්තු යන මාසවලදී නෙලා ගැනීමට නියමිත අතර එමගින් කහ මෙට්ට්‍රික් ටොන් 25,000 ඉක්ම වූ අස්වැන්නක් අපේක්ෂා කෙරේ.
ඉහත දිස්ත්‍රික්ක මූලික කරගෙන 2021 වසරේද දිවයින පුරා කහ මෙට්ට්‍රික් ටොන් 4000 ක් නැවත වගා කිරීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. 2022 වසරේ මාර්තු, අප්‍රේල් සහ මැයි මස වන විට ආසන්න වශයෙන් කහ මෙට්ට්‍රික් ටොන් 50,000 කට වැඩි අස්වැන්නක් අපේක්ෂා කරයි.මේ තුලින් 2022 වසරේ මුල් භාගය වන විට ශ්‍රි ලංකාවේ කහ අවශ්‍යතවයෙන් 90% ක් සපුරා ගැනීමට හැකිවනු ඇතැයි උපුල් රණවීර මහතා වැඩිදුරටත් පවසයි.
මීට අමතරව මෙම වසර නිමා වීමට පෙර කහ වගා කරන අතරතුර කහ හිඟය පාලනය කිරීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් වැඩසටහන් රැසක් ක්‍රියත්මක කර ඇත.
ඒ අනුව නිවසේ පරිභෝජනයට අවශ්‍ය කහ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි කහ පැළ ලකෂ 60 ක් බෙදා දීමටත් එමඟින් නිවෙස්වල පරිභෝජනයට අවශ්‍ය කහ ප්‍රමාණයෙන් 25% ක් සපුරා ගැනීමටත් අපේක්ෂිතයි.
තවද කහ නිෂ්පාදනය කරන ප්‍රධාන පෙළේ කර්මාන්ත ශාලාවලට ගොවීන් ඍජුවම සම්බන්ධ කරමින් කහ අස්වැන්න එම ආයතනවලට ලබා දීමට ගොවීන්ට අවකාශ ලබාදීමටද සැලසුම් කර ඇත.
එමෙන්ම ප්‍රාදේශීය මට්ටමින් කහ සහ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන නිෂ්පාදකයන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම, යන්ත්‍ර මිළදී ගැනීමට සහ සැකසුම් මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා ආයෝජන ආධාරයක් ලබා දීමට සැලසුම් කර ඇත.
මීට අමතරව කහ බීජවල මිල අධික වීම නිසා කහ බීජ මිළ දී ගැනීමට වැයවන මුදලෙන් කොටසක් රජය මගින් ගොවීන්ට ලබාදීමට අපේක්ෂිතයි. ඒ අනුව 2020 වසරේදී කහ කිලෝ ග්‍රෑම් එකක් සිටුවීම වෙනුවෙන් ලබා දෙන රුපියල් 100 /- ක මුදල 2021වසරේදී රුපියල් 200 /- දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.
කුළුබඩු සංස්ථාව හරහා කහ සංචිතයක් තබා ගැනීම තුලින් අනාගතයේදී කහ හිඟයක් වෙළඳපලේ ඇති වුවහොත් වෙළඳපලට නිකුත් කිරීමට අපේකෂිතයි.
තවද කහ බීජවල හිඟයක් ඇති වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා ගොවිපලවල බීජ වගා කර තැබීමට කටයුතු කර ඇත.