Wednesday, April 01, 2026
Follow Us
රජයේ රෝහල්වල ඔක්සිජන් භාවිතය සම්බන්ධ ජාතික මාර්ගෝපදේශ මාලාව එළිදැක්වේ

රජයේ රෝහල්වල ඔක්සිජන් (OXYGEN) භාවිතය සම්බන්ධ මෙරට ප්‍රථම ජාතික මාර්ගෝපදේශ මාලාව ඊයේ (30) කොල්ලුපිටිය NH COLLECTION හෝටලයේදී එළිදැක්විය.

මෙම මාර්ගෝපදේශ මාලාව සමගාමීව රජයේ රෝහල්වල ඔක්සිජන් භාවිතය සම්බන්ධ පුහුණු වැඩසටහන් මාලාවක්ද ආරම්භ කරන ලදි. විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් සියයක කණ්ඩායමක් පුහුණුකර, ඔවුන් හරහා දිස්ත්‍රික් මට්ටමින් සහ පළාත් මට්ටමින් රජයේ රෝහල්වල සේවය කරන සෞඛ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මෙම මාර්ගෝපදේශ මාලාව ඔක්සිජන් භාවිතයේ වැදගත් කරුණු සියල්ල සංයුක්ත කර ඇති අතර, රෝගී සත්කාර සේවාවන් සංවිධානය කිරීම සහ කළමනාකරණය කිරීමේ වගකීම දරන වෛද්‍ය පරිපාලකයන් සහ ප්‍රතිකාර විෂයෙහි වගකීම දරන වෛද්‍ය විශේෂඥයන් අතර තාක්ෂණික අවබෝධය ඉහළ නැංවීමට උපකාරී වේ.

මෙම අවස්ථාවට යුනිසෙෆ් (UNICEF) මෙරට නේවාසික නියෝජිත එමා බ්‍රිගම්, සෞඛ්‍ය හා පෝෂණ කළමනාකරු වෛද්‍ය අබ්නර් ඩැනියෙල්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, රෝහල් අධ්‍යක්ෂවරුන්, පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, වෛද්‍ය විද්‍යායතන නියෝජිතයන් සහ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පුළුල් පිරිසක් එක්ව සිටියහ.