Saturday, November 21, 2026
Follow Us
දිට්වා ව්‍යසනයෙන් හානි වූ කොලොන්නාවේ තවත් නිවාස හිමියන් 1,004කට වන්දි

දිට්වා ව්‍යසනයෙන් හානියට පත් නිවාස සඳහා හානිපූර්ණ වන්දි ලබාදීමේ වැඩසටහන යටතේ කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ අර්ධ වශයෙන් හානියට පත් නිවාස හිමියන් තවත් 1,004 දෙනෙකුට වන්දි ලබාදීම ඊයේ (20) සිදු කෙරිණි.

ඒ අනුව, අදාළ වන්දිලාභීන් වෙත පළමු වාරිකයට අදාළ චෙක්පත් ප්‍රදානය කිරීම කොලොන්නාව පුරාණ විහාරස්ථානයේදී සිදු වූ අතර, එම අවස්ථාවට කොලොන්නාව සම්බන්ධීකරණ කමිටු සභාපති, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රධානත්වය දැරීය.

මෙහිදී ග්‍රාම නිලධාරී වසම් 30ක පදිංචි වන්දිලාභීන් 1,004 දෙනෙකුට චෙක්පත් පිරිනැමීම සිදු විය. ඒ අනුව මුල්ලේරියාව උතුර, අඹතලේ, උඩුමුල්ල උතුර, මාලිගාගොඩැල්ල, රාජසිංහගම, මුල්ලේරියාව දකුණ, මල්ගම, කැලණිමුල්ල, බැලගම, කොටිකාවත්ත නැගෙනහිර, මල්පුර, කොටිකාවත්ත බටහිර, මහබුත්ගමුව ඒ, කුඩාබුත්ගමුව, බටලන්දහේන, මහබුත්ගමුව බී, මහබුත්ගමුව සී, වෙන්නවත්ත, කිත්තම්පහුව, වෙලේවත්ත, කොටුවිල, සේදවත්ත, හල්මුල්ල, කුරුණියාවත්ත, වැල්ලම්පිටිය, දහම්පුර, සාලමුල්ල, මෙගොඩ කොලොන්නාව, ගොතටුව සහ බෝපැත්ත යන ග්‍රාම නිලධාරී වසම්වල ජනතාවට මෙලෙස වන්දි හිමි විය.

මේ වන විට කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ නිවාස හිමියන් 16,752 දෙනෙකුට මූලික අදියරේ වන්දි ලබාදී ඇති බවත්, නිවාස ඉදිකිරීම්වල මූලික කොටස් අවසන් කර ඇති පුද්ගලයන් 1,300 දෙනෙකුට දෙවන අදියරේ වන්දි මුදල් ප්‍රදානය කර අවසන් බවත් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම වන්දි ප්‍රදානය කිරීම සඳහා රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන රජය විසින් වෙන්කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

වන්දිලාභීන් වෙත චෙක්පත් ප්‍රදානය කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සඳහන් කළේ දිට්වා ව්‍යසනයෙන් කොලොන්නාව ප්‍රදේශයට විශාල හානියක් සිදුවූ බවත්, හානියට පත් සියලු දෙනාට වන්දි ලබාදෙන බවට ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුව අනුව රජය මෙම වැඩපිළිවෙළ ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරන බවත්ය.

පසුගිය වසරේ අයවැයෙන් පසුව දිට්වා ව්‍යසනය සිදුවූ බැවින් වන්දි ලබාදීම සඳහා අයවැය සංශෝධනය කරන ලෙස විපක්ෂය ඉල්ලා සිටිය ද රජය අයවැය සංශෝධනය කිරීම වෙනුවට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගත් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ජනාධිපතිවරයා විසින් සහන සැලසීම සඳහා රුපියල් බිලියන 500ක මුදලක් වෙන්කර ඇති බවත්, පක්ෂ, පාට භේදයකින් තොරව හානියට පත් ජනතාවට වන්දි ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුර ගැටලුවට ස්ථිර විසඳුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් රුපියල් මිලියන 16,500ක මුදලක් වෙන්කර ඇති බවත්, මෙම වසරේ ගංවතුර පාලන ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,300ක් වෙන්කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

කළු පාලමේ පොම්පාගාරය (Pump House) ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 3,000ක් වෙන්කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

කැලණි ගඟේ ජල ගැලීම් පාලනය කිරීම සඳහා ඉදිකිරීමට යෝජිත ජල පාලන වේල්ල වෙනුවෙන් ද ජනාධිපතිවරයා ප්‍රතිපාදන වෙන්කර ඇති බවත්, ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට නියමිත බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කොලොන්නාව ප්‍රදේශයේ පවතින ගංවතුර, මත්ද්‍රව්‍ය සහ අපරාධ ඇතුළු ගැටලුකාරී තත්ත්වයන් වෙනස් කරමින් ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාවට කොලොන්නාව නගරාධිපති ධම්මික විජේමුණි මහතා, කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි පරණවිතාන මහතා ඇතුළු පළාත් පාලන ආයතන නියෝජිතයන්, මන්ත්‍රීවරුන්, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, වන්දිලාභීන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.