Friday, October 18, 2024
Follow Us
පාප්වහන්සේ බැහැ දැකීමට කාදිනල් හිමියන් වතිකානුවට යයි

පුද්ගලයන් 250 කට අධික පිරිසක් ඝාතනයට ලක්වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබු බුද්ධි අංශ වාර්තා සැලකිල්ලට නොගැනීම "පුර්ණ උනන්දුවක් නොමැතිකම" මත සිදු වුවක් බව කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ වතිකානුවේදී ප්‍රකාශ කර තිබෙනවා. ඒ එම ප්‍රහාරය සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියා මාර්ග සෑහීමට පත්විය නොහැකි බවට වන තදබල විවේචනයක්ද සමගින් වීමද විශේෂත්වයක්.

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානුවේදී අතිඋතුම් ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ බැහැ දැකීමට පැය කිහිපයකට පෙර රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර සිටියා.

ඉස්ලාමිය අන්තවාදී සංවිධානයක් විසින් සිදුකරනු ලැබූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වන රූපමය රූප රැගත් වීඩියෝවක් මෙම හමුවේදී කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ශුදතුම් පාප්වහ්න්සේට පෙන්වීමට නියමිතව තිබු බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියේ.

" රජය පැත්තෙන් බරපතල ආකාරයෙන් වගකීම් විරහිතව කටයුතු කළ බවක් පෙනෙන්නට තිබෙනවා. දැන් ඔවුන් සියලු වර්ගවල කමිටු සහ කොමිෂන් සභා පත් කර ඇති අතර, දෙපාර්ශ්වය අතර ආරවුල් ඇති වෙමින් තිබේනවා. ඔවුන් දන්නවා මේ සිදුවීමට කවුද වගකිව යුත්තේ කියලා. ඉන්දීය බුද්ධි අංශ විසින් අපේ‍්‍රල් 4 වන දින එල්ල විය හැකි මෙම ප‍්‍රහාරය පිළිබඳව ප‍්‍රථම වරට ශ්‍රී ලංකාවට දැනුම් දුන් බවත් පසුව පිපිරුම් සිදු වූ දින උදෑසන 6.45 ට දුරකථන ඇමතුමක් මගින් ද ඇතුළුව තෙවතාවක් දැනුම් දුන් බවට " කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කර සිටියා.

“නමුත් කිසිවෙකු එය බැරෑරුම් ලෙස සැලකුවේ නැහැ. ප්‍රහාරයක් සැලසුම් කර ඇති බව මා දැන සිටියේ නම් මම පල්ලි වසා දමා ජනතාවට ගෙදර යන ලෙස දැනුම් දී එසේ හෝ මෙම ව්‍යසනය වළක්වා ගත හැකිව තිබුණා යැයි රොයිටර් පුවත් සේවය නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කාදිනල් හිමිපාණන් පැවසීය.

“සෑම කෙනෙක්ම උත්සාහ කරන්නේ අනෙක් අයට දොස් පැවරීමටයි. කරුණු සැඟවීමට උත්සාහයක යෙදී සිටිනවා. ඊට සම්බන්ධව ඇතැම් ප්‍රභලයින් ගේ වරදකාරිත්වය පවා සැක සහිත විය හැකි බැවින් ඔවුන් එය සැඟවීමට උත්සාහ දරණ බවක් පෙනී යනවා. රජයේ පැත්තෙන් සහ ආරක්ෂාව සඳහා වගකිව යුතු විවිධ ආයතනවල මේ සම්බන්ධයෙන් පූර්ණ උනන්දුවක් නොමැති භාවය මනාව පෙන්නුම් කරන බවද" මෙහිදී කාදිනල් හිමියන් ප්‍රකාශ කර සිටියා.

ඉන් අනතුරුව වතිකනුවේදී මාධ්‍ය හමුවකට එක්වූ කාදිනල් හිමියන් බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූ පුද්ගලයින්ගේ පවුල් වල ඥාතින් තමන් සමග අදහස් බෙදා ගත් අයුරු පිළිබද මාධ්‍ය වෙත ලතින් භාෂාවෙන් සිදුකළ අතර එහිදී ඇතැම් අවස්ථා වලදී උන්වහන්සේ හැඟීම්බරවූ ආකාරයද දැක ගත හැකි විය.

(Neth)