Friday, October 18, 2024
Follow Us
කාදිනල් හිමියන්ගෙන් ඉල්ලීමක් සහ පැහැදිළි කිරීමක්

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු විවිධ ක‍්‍රම මගින් තමත් ඇතුළු කතෝලික ජනතාව වෙත ශෝකය පළ කරමින් සහයෝගීතාව සහ සමීපතාව පළ කළ සියලූ දෙනාට හෘදයාංගම ස්තූතිය සහ උපහාරය පුද කරන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා.

බොහෝ පිරිසක්, විනාශ වූ දේවස්ථාන යළි ගොඩනැගීම සඳහා මූල්‍ය ආධාර ප‍්‍රදානය කිරීමට සහ විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර කිරීමටත් එක්වූ බවයි උන්වහන්සේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

එම සියලු දිරිගැන්වීම් ප‍්‍රශංසාවෙන් අගය කරන බවද අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සඳහන් කරනවා.

තමන් වෙත ලැබෙන සියලු පණිවිඩවලට වෙන වෙනම පිළිතුරු යොමු කිරීමට අවශ්‍ය වුවද සිය කාර්ය බහුලත්ත්වය හේතුවෙන් එය අතිශයින් දුෂ්කර කටයුත්තක් බවයි කාදිනල් හිමියන් පෙන්වා දෙන්නේ.

සහන අරමුදල වෙත ලැබෙන මූල්‍යාධාරවලින් පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මියගිය අයගේ පවුල්වලට සහ තුවාල ලැබූවන්ගේ ප‍්‍රතිකාර සඳහා පිළිසරණ වීමට අපේක්ෂිතයි. කෙසේවෙතත් ජනතාව හෝ වෙනත් පාර්ශ්වයක් ලබාදුන් මූල්‍ය ආධාර අදාළ සහන අරමුදල වෙත ලැබුණු බවට සහතිකයක් ලැබී නොමැති නම් ඒ පිළිබඳ සියලු විස්තර ඇතුළත් කර ඊමේල් පණිවුඩයක් යොමු කරන ලෙසයි කාදිනල් හිමියන් ඉල්ලා සිටින්නේ.

ඒ තුළින් පරිත්‍යාගය ලද බවට සහතිකයක් ලබාගත හැකි බවද මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.
(Neth)