Friday, October 18, 2024
Follow Us
රතන හිමිගේ උපවාසයෙන් සහරාන්ලාගේ වුවමනාව ඉටු වුණා

ඉස්ලාම් අන්තවාදයට එරෙහිව රට තුළ නැගෙන බලවේගය දැක තක්කඩි ලෙසින් තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර පෙරට ගෙන ඉදිරියට පැමිණ ප්‍රශ්නය වෙනතකට හැරවීමට උත්සාහ දරන බවට බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි අතුරලියේ රතන හිමිට චෝදනා කරයි.

වහාබ්වාදයට එරෙහිව සිංහල සමාජයට වඩා ක්‍රියාකාරී වූයේ සාම්ප්‍රදායික මුස්ලිම් මිනිසුන් බව පැවසූ එහිමි මේ සිදුවන දේවල් නිසා ඔවුන් ද අන්තවාදයට තල්ලු වීමේ අවදානමක් ඇතිවන බවයි අවධාරණය කළේ.

"කිසිම සංවාදෙකුත් නෑ සාකච්ඡාවකුත් නෑ, මේ පුද්ගලයො තුන්දෙනෙක් ඉලක්ක කරගෙන, හිස් පංචස්කන්ධ තුනක් මුල් කරගෙන රතන හාමුදුරුවො ගිහින් වාඩි වෙනවා උපවාසෙකට. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සතියකට විතර පස්සෙ ඔතන වාඩිවෙලා කිව්වා නම් "මේ මුස්ලිම් මන්ත්‍රීවරු ටික ඔක්කොම එක පැත්තකට වෙන්න කරුණාකරලා මේ ප්‍රශ්නය විසඳාගන්න" කියලා අන්න ඒක සාධාරණයි. දැන් මේ පුද්ගලයො තුන් දෙනාද ප්‍රශ්නෙ ?

මං මේ උපවාසය අවතක්සේරු කරනවා නෙවෙයි. මං කිව්වෙ වෙච්ච දේ. වෙමින් තියන දේ. මේකෙන් වෙන්නෙ මම අද කිව්වා කියලා හිතාගන්න මහා සිංහල - මුස්ලිම් කෝලාහලයක් වෙනවා අනාගතේදි මේ යන විදියට. ඒක නෙවෙයිනෙ කළ යුත්තේ.

අර සලෆිවාදී, වහබ්වාදී උම්මත්තකයින්ට ඕනෙ දේ නෙවෙයිනෙ අපි කරන්න ඕනෙ. හැබැයි වුණේ ඒක. ඒගොල්ලොන්ට වුවමනා වුණා මුළු මුස්ලිම් සමාජයම ඒගොල්ලොන්ගෙ අතට ගන්න. ඒක සිද්ධ වුණා අපරාදෙ කියන්න බෑ මේ හාමුදුරුවන්ගෙ උපවාසෙ නිසා. පුද්ගලයො තුන් දෙනෙකුට ගැහුවා. හැබැයි මේ මතවාදය හදපු අය ගැන කතා කළේ නෑ.

අර දේශපාලනඥයො. ඔය තුන් දෙනා වගේම තමයි සිංහල දේශපාලනඥයොත්. දැන් අපෙ දේශපාලනඥයො පාතාලයත් එක්ක නැද්ද ? මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයො එක්ක නැද්ද ? කළු සල්ලි සුදු කරන්නෙ කවුද අපෙ දේශපාලකයන්ගෙ ? එහෙනම් අපෙ එවුන්ටත් විරුද්ධ වෙන්න එපැයි. "

ඥානසාර හිමි මේ අදහස් පළ කළේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අතුරලියේ රතන හිමි විසින් ප්‍රශ්නය සංකීර්ණ කළ බවට චෝදනා කළ ඥානසාර හිමි මින් ඉදිරියට මේ සටනේ නායකත්වය වෙනත් කිසිවකුටත් ගැනීමට ඉඩ නොතබන බවයි කියා සිටියේ.

ඒ අනුව "ජාතික සටනේ" නායකත්වය බෙදා ගැනීමේ සැණකෙළිය ඥානසාර හිමි විසින් ඉදිරියට ක්‍රමානුකූලව ගෙනයන බව පෙනේ.

(LNW)