Tuesday, May 07, 2024
Follow Us
පාස්කු ප්‍රහාරය : ව්‍යාජ තොරතුරු පොලිස් පොතට දාන්න බලපෑම් ආවා. SPට බයේ කලින් කිව්වේ නෑ !

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට පූර්ව අනතුරු හැඟවීමක් කර නොතිබුණු නමුත් ප්‍රහාරය පිළිබඳ එවන් පූර්ව දැනුම් දීමක් කළ බව හැඟවෙන ලිපියක් පොලිස් පොතට ඇතුළත් කරන ලෙස එවකට කොළඹ උතුර භාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා ප්‍රහාරයෙන් දින දෙකකට පසු තමන්ට බලපෑ කළ බව එවකට ජම්පටා පොලිස් මුරපොලේ සේවයේ නියුතුව සිටි උප පොලිස් පරීක්ෂක ආර්.එම්. ලහිරු ප්‍රදීප් උදයංග මහතා චෝදනා කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.

බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙන් අප්‍රේල් 21 වන දිනට පෙර තමන්ට කිසිදු දැනුම් දීමක් සිදු කර නොතිබුණු බව පැවසූ ඒ මහතා එහෙත් ප්‍රහාරයෙන් දින දෙකකට පසු එවකට කොළඹ උතුර භාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා තමන්ව ඔහුගේ කාර්යාලයට කැඳවා, යම් ලේඛනයක් ලබාදී එය ප්‍රහාරයට පෙර ලැබුණු පරිදි ජම්පටා පොලිස් මුරපොළේ ලේඛන පොතට ඇතුළු කරන ලෙස නියම කළ බව උප පොලිස් පරීක්ෂකවරයා ප්‍රකාශ කළේය.

එවැනි පොතක් තම පොලිස් මුරපොළේ නොමැති බව තමන් පැවසීමෙන් අනතුරුව එම ලේඛනය ළඟ තබාගන්නා ලෙස පොලිස් අධිකාරීවරයා නියම කළ බවත් එහි සංවිධානාත්මක ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු ඇතුළත්ව තිබුණු බවත් උප පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රහාරය පිළිබඳ විමර්ශන කළ විශේෂ පොලිස් ඒකකයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොකී බවත් ඒ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගේ සහ ඔහුගේ පුද්ගලික සහකාර උපේන්ද්‍ර මහතාගේ බලපෑම් මත බවත්ය.

(LNW)