Sunday, September 08, 2024
Follow Us
මෛත්‍රීගේ ජාතික ආර්ථික සභාව මහජන මුදල් ගිල්ල සුදු අලියෙක් !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිහිටවූ ජාතික ආර්ථික සභාව කෝටි ගණනින් මහජන මුදල් නාස්ති කළ සුදු අලියකු බවට පත්ව තිබුණු බව අනාවරණය වී ඇතැයි රජයේ ආරංචිමාර්ග පවසයි.

මෙම ජාතික ආර්ථික සභාව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිහිටවූයේ 2017 වසරේදීය. ඒ, එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිහිටුවා තිබුණු ආර්ථික කළමනාකරණ කමිටුවේ කටයුතු පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව පවසමින් එය විසුරුවා හරිමිනි.

මෙය ඇමරිකාවේ සිට ආනයනය කරන ලද මහාචාර්ය ලලිත් සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන ලද අතර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති ධුර කාලය අවසන් වනවාත් සමඟම ලලිත් සමරකෝන් මහතා ද යළි ඇමරිකාව බලා ගොස් තිබේ.

කෙසේවෙතත් මෙම ජාතික ආර්ථික සභාවේ ප්‍රධාන කාර්යාලය ලෙස ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ මහල් දෙකක් වෙන්කරගෙන, ඒ සඳහා වසර තුනක් වෙනුවෙන් කුලී මුදල් ගෙවා ඇතත් එම කාර්යාල පරිශ්‍රය, ඒ සඳහා වෙන්කළ සියලු උපකරණ ද සමඟ එම වසර තුනක කාලය තුළම භාවිතයට ගෙන නොමැති බව අනාවරණය වී ඇති බව සඳහන්.

එසේම මේ ආයතනය සඳහා රජයේ නිලනිවාසයක් ද වෙන්කර තිබී ඇති බව අනාවරණය වී ඇති අතර මෙසේ රුපියල් කෝටි ගණනක මහජන මුදල් වැය කර ඇතත් මෙම ජාතික ආර්ථික සභාව විසින් කිසිදු ප්‍රයෝජනවත් කටයුත්තක් ද එම වසර තුන තුළ ඉටු කර නොමැති බව ද අනාවරණය වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

(LNW)