Sunday, May 11, 2025
Follow Us
සාමාන්‍ය පෙළ විභාගයට අදාළ නියෝගය අද මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වෙයි

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පංති පැවැත්වීම අද (26) මධ්‍යම රාති‍්‍රයෙන් පසු තහනම් වනවා. විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ ප‍්‍රසිද්ධ විභාග පනතෙහි 22 වන වගන්තිය යටතේ නිකුත් කර ඇති නියෝගයකට අනුව මෙම තහනම පැනවෙන බවයි.

ඊට අනුව අද මධ්‍යම රාති‍්‍රයෙන් පසු සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන දිනය දක්වා මෙවර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කර ගනිමින් විෂයානුබද්ධ දේශන, සම්මන්ත‍්‍රණ හෝ වැඩමුළු පැවැත්වීමද තහනම් වනවා.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා අනුමාන ප‍්‍රශ්න හෝ ඒ හා සමාන ප‍්‍රශ්න ලබාදෙන බවට ප‍්‍රචාරය කිරීමද එවැනි ප‍්‍රචාරක ද්‍රව්‍ය ළග තබාගැනීමද අද මධ්‍යම රාති‍්‍රයෙන් පසු තහනම් වන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් මෙම තහනම නොසලකා කටයුතු කළහොත් ඔවුන්ට එරෙහිව දඩුවම් පැමිණිවිය හැකි බවද මෙහිදී සිහිපත් කෙරුණා.

මේ අතර මෙම තහනම නොසලකා කටයුතු කරන පුද්ගලයින් හෝ ආයතන පිළිබද පොලීසියට හෝ විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත ඉල්ලා සිටින්නේ. පැමිණිලි ලබාගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්‍ෂණික ඇමතුම් අංකයද විවෘත කර තිබෙනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලබන 02 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.

(Neth)