Wednesday, October 23, 2024
Follow Us
ඔය කියන තරම් පිටි කිරි අගුණද ?

ඇන්කර් පිටි කිරි වෙළඳ දැන්වීමකට පෙනී සිටියැයි කියලා ලංකාවේ මිනිස්සු මහේලට තඩිබානවා දැකලයි මේක ලියන්න හිතුණේ. පිටි කිරි බිව්වාම පිළිකා හැදෙනවයි කියලා ලෝකේ කොහෙවත් තාම විද්‍යාත්මකව තහවුරු කරලා නෑ.

හැබැයි විදාඥයින් අතර මේ ගැන සංවාදයක් යනවා. බහුතරයක් කියන්නේ කිරි පිටි නිෂ්පාදනවලින් ලැබෙන පෝෂණ ගුණය ගැන සලකා බැලුවාම එහි ඇති පිළිකා සෑදිය හැකි සම්භාවිතාව නොගිනිය හැකි තරම් කුඩායි කියලා. ඉතාම සුළු පිරිසක් ඉන්නවා ඒක එහෙම නෙමෙයි කියන. මං ඔය ගැන ඔස්ට්‍රේලියාවේ කැන්සර් කවුන්සිලයෙන් ඇහුවම එයාලා නං කිව්වේ එයාලා සියලුම ආකාරයේ කිරි නිෂ්පාදන පිළිකා අවම කරන්නක් විදිහට ප්‍රමෝට් කරනවා කියලයි.

සමහර විට නාථ දෙයියො වගේ කවුරු හරි හීනෙන් පෙනිලා කාට හරි කිරිපිටිවලින් පිළිකා හැදෙනවා කියල එහෙම කිව්වද කියලා නං දන්නෙ නෑ. ඉතිං මහේල කළ වැඩේ ගැන මට එහෙමට අවුලක් නෑ. මෙහෙ ඕන තරං නැවුම් කිරි තිබ්බත් සමහර වෙලාවට මාත් වෙනසකටත් එක්ක පිටි කිරි දලා තේ කෝප්පයක් බොන දවස් තියෙනවා. මේ තියෙන්නේ පිටි කිරි ගැන මගේ සත දෙක:

පහුගිය කාලේ කිරි පිටි ගැන ලංකාවේ වැඩිපුරම ව්‍යාප්ත වුණේ මිත්‍යා මත. විශේෂයෙන්ම ඇන්කර්වලට විරුද්ධව ලොකු කතා බහක් ගියා. ඒවට ඌරු තෙල් කලවං කරා කියලා. මං ඇත්තටම දන්නේ නෑ ලංකාවේ විකුණන ඇංකර් කෙලින්ම නවසීලන්තයෙන් පැකට් කරලා එවනවද නැත්තං ලංකාවට බල්ක් ගෙන්නලා ලංකාවේදී ප්‍රති ඇසුරුම් කරනවද කියලා. හැබැයි නවසීලන්තෙදි ඌරු තෙල් කලවං කරනවා කියනවා නං ඒක ජෝක් එකක්. ඒ රටවල ආහාර නිෂ්පාදනය දැඩි නියාමනයකට යටත් කරලා තියෙන නිසා මලාට හොරාට එහෙම කරන්න බෑ.

ඌරු තෙල් ගැන කතාව ඇදුණු නිසා මේකත් කියන්නං. ඌරු තෙල් කියන්නේ ලෝකයේ පෝෂණ ගුණ වර්ගීකරණයේ හොඳම දහය ඇතුලේ තියෙන එකක්.

ආපහු කිරි පිටිවලට ආවොත් දැන් ලෝකයේ පිටිකිරි නිෂ්පාදනය මාර දියුණුයි. නැවුම් කිරිවල තියෙන පෝෂ්‍ය පදාර්ථ ආසන්න වශයෙන් කිට්ටුවටම රැක ගෙන ඒවා පිටි කරන්න දැන් පුළුවන්.

ලෝක ජනගහනයෙන් සෑහෙන පිරිසකට නැවුම් කිරි ගන්න විදිහක් නෑ. කල් තබා ගැනීමේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේ අය වෙනුවෙන් ඇති.හොඳම ආදේශකය තමයි පිටි කිරි.

පිටිකිරිවල තියෙන එකම අවුල තමයි නැවුම් කිරිවලට සාපේක්ෂව මඳක් වැඩි වශයෙන් සිරුරේ කොලෙස්ටරෝල් අගය ඉහල දැමිය හැකි සංඝටක එහි අඩංගු වීම.
ඒ හැර මං දන්න තරමින් පිටි කිරි හා නැවුම් කිරි අතර ලොකු වෙනසක් නෑ. රහ නං හැබැයි වෙනස්.

ලංකාවේ ගම්මිරිස්වලටත් ගස්ලබු ඇට කලවං කරන එකේ පිටි කිරිවලටත් එක එක මගුල් කවලං කරනවද දන්නෙ නෑ. ඒක ලංකාවේ ආහාර නිෂ්පාදනයේ හා ඇසුරුමේදී වෙන දෙයක් මිසක් පොදුවේ පිටි කිරිවල අගුණයක් නෙමෙයි. එහෙම කවලං කරනවා නං අනිවාර්යයෙන්ම ඇන්කර්වලට විතරක් නෙමෙයි අනෙක් කිරිපිටිවලටත් එහෙම කරනවා ඇති.

ඔබ දන්නවාද ලෝකේ සමහර රටවල් නැවුම් කිරි බෝතල්වලටත් පිටි කිරි ප්‍රතිශතයක් කලවම් කරන බව. එය නීති විරෝධීත් නැහැ.

නැවුම් කිරි බොන්න පුලූවන් නං හොඳයි. නැත්තං ඉතිං පිටිකිරිවලත් ඔය කියන තරං ප්‍රශ්නයක් නෑ.

(LNW)