Friday, October 18, 2024
Follow Us
රතන හිමි මඟ සමස්ත ලංකා හින්දු සම්මේලනයත් යයි

පූජ්‍ය අතුරලියේ රතන හිමි මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මහමළුව අභියස ආරම්භ කර ඇති අඛණ්ඩ උපවාසයට සහයෝගය පළකරමින්, සමස්ත ලංකා හින්දු සම්මේලනය අද (02) මහනුවර පල්ලේදෙල්තොට ප්‍රදේශයේදී උපවාසයක් ආරම්භ කළේය.



එම සම්මේලනයේ සභාපති නාරා ටී. අරුන්කාන්ත් මහතා එහි පැමිණ හාල්වත්ත බෝධිය අභියස සිට උපවාසයෙහි නිරත වූහ.

පාස්කු ඉරුදින ප්‍රහාරයත් සමග රට පුරා ව්‍යාප්ත වී ඇති ඉස්ලාම් ආගමික අන්තවාදය මුලිනුපුටා දැමීම සඳහා රජය කටයුතු කළ යුතු බවත් ඊට සමගාමීව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඉල්ලා සිටින ඉල්ලීම් ඉටු විය යුතු බවත් උපවාසයට සහභාගීවූ අරුන්කාන්ත් මහතා කීවේය.

"අපේ අනාගත පරපුරට ජීවත්වීම සඳහා රටක් අවශ්‍යයි. ශ්‍රී ලංකාව තුළ පොදු නීතියක් තිබිය දී ආගන්තුක නීති රටට හඳුන්වා දෙමින් ජනතාව විනාශ කිරීමෙහිලා කටයුතු කරමින් සිටින නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා වහා අත්අඩංගුවට ගත යුතු යැයි අපේ අදහසයි.

සරණාගතයෙකු වශයෙන් යාපනයේ සිට පුත්තලමට පැමිණෙන රිෂාඩ් බදියුදීන් මහතා සතුව එදා තිබී ඇත්තේ රුපියල් සියයක මුදලක් පමණයි. නමුත් අද එතුමාගේ වත්කම්වල වටිනාකම රුපියල් කෝටි එක්දහස් දෙසිය පනහක් කියනවා. කෙටි කලක් තුළ මෙතරම් මුදල් සම්භාරයක් ලැබුණේ කොහොමද කියා පරික්ෂා කළ හැකි නමුත් එය සිදු නොකරන්නේ පක්ෂ දේශපාලනය නිසයි.

රිෂාඩ් බදියුදීන් කරන්නේ කුමක්ද යන්න අප සාක්ෂි සහිතව පෙන්වාදී තිබෙනවා. නමුත් ඒ පිළිබඳව මේ දක්වා කිසිම විමර්ශනයක් සිදුකර නැහැ.

එම නිසා අපි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගෙන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ ආණ්ඩු විරෝධීව ක්‍රියා කරන මුස්ලිම් අන්තවාදී නායකයන් අත්අඩංගුවට ගන්නා ලෙස යැයි සමස්ථ ලංකා හින්දු සම්මේලනයේ සභාපති නාරා ටී. අරුන් කාන්ත් මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා ආරම්භ කළ උපවාසයට සහයෝගය පළ කිරීම සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හින්දු පූජක නිල්ලඹ හරිදෙව් එස්. ප්‍රභා කුරුක්කල්තුමා ද සහභාගී වූහ.

(LNW)