Friday, October 18, 2024
Follow Us
හෙට 12 වෙනකල් කල් දෙනවා. නැත්තං මුළු රටේම සැණකෙලි බලාගන්න පුළුවන් - ඥානසාර හිමි

අසාද් සාලි, එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සහ රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයා තනතුරුවලින් ඉවත් කිරීම සඳහා තමන් ආණ්ඩුවට හෙට (03) දහවල් 12.00 වනතුරු කාලය ලබාදෙන බව පවසන බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි, එය ඉටු නොවුණහොත් මුළු රටේම සැණකෙළි බලාගැනීමට හැකිවනු ඇති බවට අනතුරු හඟවයි.

ඥානසාර හිමි මේ බව පැවසුවේ උපවාසයේ නිරත වී සිටින අතුරලියේ රතන හිමිගේ සුවදුක් විමසීම සඳහා ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිටට අද (02) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

අතුරලියේ රතන හිමි යනු ජාතික ව්‍යාපාරයේදී තමන්ගේ ගුරුවරයා බව පැවසූ ඥානසාර හිමි තක්කඩි දේශපාලනඥයින් තිදෙනෙක් නිසා රතන හිමියන්ට දුර්වල වීමට තමන්ට ඉඩදිය නොහැකි බවත් ප්‍රකාශ කළේය.

එසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද අනතුරු හැඟවීමක් කරමින් ඥානසාර හිමි ප්‍රකාශ කළේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පසුදා හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා නැගෙනහිර පළාතේ හෝටලයක සිටි ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ තිදෙනෙක් එතැනින් පිටට රැගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝ සාක්ෂි තමන් සතුව ඇති බවත් ඒවා එළියට ඒමට ඉඩදී අනවශ්‍ය ප්‍රශ්න ඇති කර නොගන්නා ලෙසත්ය.

(LNW)