Wednesday, October 23, 2024
Follow Us
රුවන්වැලි සෑ රදුන්ගේ නව චූඩා මාණික්‍ය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මහජන පූජෝපහාරයට

අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේට පැලඳවීමට නියමිත රන් පාදම සහිත චූඩාමාණික්‍යය මේ දිනවල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මහජනයාට වැඳපුදා ගැනීම සඳහා ප්‍රදර්ශනය කෙරේ.

රන් පාදම සහිත නව චූඩාමාණික්‍යය මෙම මස 20 වැනිදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී දැක වැඳ පුදා ගැනීමට මහජනතාවට අවස්ථාව සැලසෙන බව, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක රුවන්වැලි සෑ චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන හිමියන් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මහජන ප්‍රදර්ශනයෙන් අනතුරුව මෙම මස 21 වැනිදා රන් පාදම සහිත චූඩාමාණික්‍යය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිට අනුරාධපුරය දක්වා වැඩම කරවීමට නියමිතය.

ඉන් අනතුරුව මෙම මස 22 වැනිදා සිට 24 වනදා දක්වා දින 3ක් අනුරාධපුර රුවන්වැලි සෑ පූජා භූමියේද විශේෂ කුටියක එය මහජනයාට වන්දනා කිරීම සඳහා ප්‍රදර්ශනය කරන බවද උන්වහන්සේ පවසති.

චූඩාමාණික්‍යය සහිත රන් පාදම මහා සෑ රදුන් මත පැලඳවීම කෙරෙන්නේ මෙම මස 25 වැනිදා බවත් රන් ආලේපිත කොත් වහන්සේ නිරාවරණය කිරීම මෙම මස 26 වැනිදා සිදුකිරීමට නියමිතව ඇති බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.

(Aruna)