Wednesday, October 23, 2024
Follow Us
ඡන්දය දැමීමට ඉහළ උනන්දුවක් - මේ දක්වා තත්ත්වය සාමකාමී බව මැතිවරණ කොමිසම කියයි

7 වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු මේ වනවිට සාමකාමීව සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඡන්ද විමසීම අද ආරම්භ වුණේ පෙරවරු 7 ටයි. ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් තුළ ඉතා ඉහළ උනන්දුවක් දක්නට ලැබෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මේ අතර අද පෙරවරු 10 වනවිට දිස්ත්‍රික් කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත පිළිබද නෙත් නිවුස් වෙත ලැබී තිබෙනවා. මෙම ප්‍රතිශත නිකුත් කර ඇත්තේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින්.

ඒ අනුව අද පෙරවරු 10 පමණ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 35 කට වැඩි ප්‍රමාණයක් සිය ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදාන පතිරණ නෙත් නිවුස් වෙත සදහන් කළේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින්ගෙන් සියයට 30 ක පමණ පිරිසක් මේ වනවිට සිය ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී තිස්ස කරුණාරත්න සදහන් කළේ.

අද පෙරවරු 10 වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 15 ත් 20 ත් අතර ප්‍රමාණයක් සිය ඡන්දය භාවිත කර ඇති බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර නෙත් නිවුස් වෙත පැවසුවේ.

මේ අතර අද පෙරවරු 10 වනවිට අනුරාධපුර, මාතර, ගම්පහ සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල සියයට 30 බැගින් ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ සියයට 44 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියයට 40 ක් පමණ අද පෙරවරු 10 වනවිට ඡන්දය ප්‍රකාශ කර තිබූ බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ප්‍රකාශ කළේ.

ත්‍රිකුණාමලය සහ වව්නියාව දිස්ත්‍රික්කයේ සියයට 25 බැගින් අද පෙරවරු 10 වනවිට ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

අද පෙරවරු 10.30 වනවිට අම්පාර දිස්ත්‍රික්කයේ සියයට 30 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී
ඩී එම් එල් බණ්ඩාරනායක සදහන් කළේ.

මේ අතර අද පෙරවරු 10 වනවිට මොණරාගල දිස්ත්‍රික්කයේ සියයට 45 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල සියයට 40 බැගින් එම කාලය තුළ ඡන්දය ප්‍රකාශ කර තිබූ බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් සදහන් කළේ.

යාපනය දිස්ත්‍රික්කයේ සියයට 24 ක් අද උදෑසන 10 පමණ වනවිට ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එන්. වෙත්නායගම් සදහන් කළේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ සියයට 54 ක් අද පෙරවරු 10 පමණ විට ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී දමයන්ති පරණගම නෙත් නිවුස් වෙත සදහන් කළේ.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ සියයට 32 ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ සියයට 20 ක් අද පෙරවරු 10 පමණ විට ඡන්දය ප්‍රකාශ කර ඇති බවත් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් සදහන් කළා.

(Neth)