Wednesday, October 23, 2024
Follow Us
කොළඹ නගරයේ වායුගෝලීය දූවිලි අංශු ප්‍රමාණය ස්ථාන තුනකදී ඒකක 80ක් 95ක් 119ක් වෙයි

කොළඹ නගරයේ වායුගෝලීය දූවිලි අංශු ප‍්‍රමාණය ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.

එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ එළඹෙන උත්සව සමයේදී රතිඤ්ඤා ඇතුළු ගිණි කෙළි දැල්වීමෙන් එම තත්ත්වය වර්ධනය විය හැකි බවයි.

මේ අතර කොළඹ නගරයේ වායුගෝලීය දූවිලි අංශූ ප‍්‍රමාණය අද දිනයේ ඉහළ යා හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මීට පෙර ප‍්‍රකාශ කළා.

කෙසේවෙතත් අද දිනයේ කොළඹ නගරයේ දූවිලි අංශු ප‍්‍රමාණය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ස්ථාපිත කර ඇති වායුගෝලීය දූෂණ දර්ශකයේ ඒකක 80ක අගයක් ගෙන තිබුණා. කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ දූෂණ දර්ශකයේ එම අගය අද දැක්වුණේ ඒකක 95 ක් ලෙසයි.

මේ අතර බත්තරමුල්ල, ජයවඩනගම ප‍්‍රදේශයේ ස්ථාපිත වායුගෝලීය දූෂණ දර්ශකයේ අද එම අගය දැක්වුණේ ඒකක 119 ක් ලෙසයි. එම අගය ගැබිණි මව්වරුන් සහ ශ්වසන ආබාධ සහිත පුද්ගලයන්ට නුසුදුසු තත්ත්වයක් බවයි පැවසෙන්නේ.

(Neth)