Tuesday, October 22, 2024
Follow Us
නමත් නොදැන කළ MCC විරෝධී උපවාසය නවතා දමන්නැයි ගෝඨාගෙන් ලිපියක්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව උඩුදුම්බර කාශ්‍යප හිමි විසින් ආරම්භ කළ උපවාසය නවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලිපියක් මඟින් ඊයේ (05) රාත්‍රියේ ඉල්ලීම් කර තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා අත මෙම ලිපිය එහිමි වෙත එවීමටයි ඒ මහතා කටයුතු කර තිබුණේ.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දා සිට ප්‍රතිඵල නිකුත් කරන දා දක්වා වත්මන් රජය අත්සන් තැබූ සියලුම ගිවිසුම් යළි සමාලෝචනය කර ජාතික උවමනාවන්ට පටහැණි නම් ඒවා අහෝසි කිරීමට තමන් කටයුතු කරන හෙයින් උපවාසය නවත්වන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා එම ලිපියෙන් ඉල්ලා ඇත.

මෙම උපවාසය ආරම්භ කෙරුණේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට සමගාමීව, ඊට සම්බන්ධ ගුණදාස අමරසේකර, මාලනී ෆොන්සේකා, සරත් මනමේන්ද්‍ර වැනි පිරිස් සමඟ බැවින් එය නැවැත්වීමට මැදිහත්වීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යුතුකමකි.

කෙසේවෙතත් මෙහි ඇති විශේෂත්වය වන්නේ කාශ්‍යප හිමි එක් නිශ්චිත ගිවිසුමක් සම්බන්ධයෙන්, එනම් ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙම උපවාසය පවත්වාගෙන ගිය ද එය නවත්වන ලෙස කරන ඉල්ලීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතා එම ගිවිසුමේ හෝ ඇමරිකාවේ නම සඳහන් නොකිරීමට ප්‍රවේශම් වීමයි. පොහොට්ටුවේ ඇමරිකන් විරෝධීන් පරළ වෙමින් දහ අට සන්නිය නැටුව ද ගෝඨා ඇමරිකාව ගැන හෝ ගිවිසුම ගැන නමින් කතා කරන්නේ නැත.

අනෙක් අතට මෙම උපවාසය පැවැත්වූ කොළඹ නිදහස් චතුරස්‍රයේ මේ පිළිබඳ දැනුවත් කිරීම සඳහා ප්‍රදර්ශනය කර තිබුණු, ලංකා සිතියමක් සහිත පුවරුවේ දක්වා තිබුණේ "මිලේනියම් සිටි කෝපරේෂන්" යනුවෙන් වන අතර සරත් මනමේන්ද්‍ර මහතා ද මෙය හැඳින්වූයේ "මිලේනියම් සිටි ගිවිසුම" යනුවෙනි. මිලේනියම් සිටි යනු ඇමරිකානු කතාවක් නොව කලකට ඉහත කොළඹ ආශ්‍රිතව පවත්වාගෙන ගිය නිවාස සංකීර්ණ ඉදිකිරීමේ ව්‍යාපෘතියකි. අනෙක් අතට සිතියමේ පෙන්වන ආර්ථික කොරිඩෝව ඇමරිකානුවන් විසින් නොව ශ්‍රී ලාංකිකයින් විසින් ජාතික භෞතික සැලැස්මට සකස් කළ එකකි. ඒ අනුව මෙම උපවාසය තමන් කරන්නේ කුමකට එරෙහිවදැයි නමක් හෝ හරිහැටි නොදැන කළ එකක් වන අතර ඒ ගැන කතා කරන බොහෝ අය එම ගිවිසුම දැක හෝ නොමැත.

(LNW)