Friday, March 29, 2024
Follow Us
හැඳුනුම්පතට ඇගිලි සලකුණත් ඇතුල් කිරීමට අවධානය

ජාතික හැඳුනුම්පතට පුද්ගලයින්ගේ ඇගිලි සලකුණද ඇතුළත් කිරීමට අවධානය යොමුව තිබෙනවා. ජාතික ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමේ අදහසින් මේ කෙරෙහි අවධානය යොමුව ඇති බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පවසන්නේ.

පැරණි ජාතික හැඳුනුම්පතෙහි පැවැති දුර්වලතා ගණනාවක් නව ජාතික හැඳුනුම්පත මගින් දැනටමත් නිවැරදි කර ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. උදාහරණයක් ලෙස ඡායාරූපය වෙනස් කිරීම හෝ මුද්‍රණය ගලවා තොරතුරු වෙනස් කිරීම වැනි කරුණු නව හැඳුනුම්පතෙහි සිදු කළ නොහැකි බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේ.

කෙසේවෙතත්, ජාතික හැඳුනුම්පත් තවදුරටත් නිකුත් කෙරෙන්නේ පුද්ගලයින්ගේ ජීව දත්ත පමණක් ඇතුළත් කරමින්. ඉදිරියේදී ජීව මිතික දත්ත ඊට ඇතුළත් කිරීමට කටයුතු කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. ඞී එන් ඒ දත්ත හෝ ඇගිලි සලකුණ වැනි දෑ ජීව මිතික දත්ත ලෙස සැලෙකනවා.

මෙම ජීව මිතික දත්ත අතරින් ඇගිලි සලකුණ පමණක් ලබා ගැනීමට නීතිය මගින් දැනටමත් අවසර ලැබී තිබෙන බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පැවසුවේ.

(Neth)