Tuesday, October 22, 2024
Follow Us
ජනාධිපතිවරණය තුළ සමරිසි ප්‍රජාවේ ආයාචනය

එළඹෙන ජනාධිපතිවරණය තුළ නිදහස්, නිවහල්, සාධාරණ හා මානව හිමිකම් අගයන සමාජයක් හා අභිමානවත් අන්දමින් ජීවත් විය හැකි වටපිටාවක් නිර්මාණය කරනු වස් කටයුතු කරන මෙන් ශ්‍රී ලංකාවේ සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්නභාවී (Lesbian, Gay, Bisexual, Transgender, Intersex, Questioning/Queer : LGBTIQ+) ප්‍රජා සාමාජිකත්වය සියළු අපේක්ෂකයින් ගෙන් ඉල්ලා තිබේ.

එකී සන්දර්භය තුළ සෑම පුද්ගලයකුටම තම හැකියාවන් මත උපරිම දියුණු විය හැකි සාධාරණ සමාජ ක්‍රමයක් ප්‍රාර්ථනා කරන මෙම ප්‍රජාව ඉතිහාසය පුරා තම පැවැත්ම, දායකත්වය නොසලකා හැරි වටපිටාවක් තුළ විවිධ අන්දමේ වෙනස්කොට සැලකීම්, කොන්කොට සැලකීම් හා ප්‍රචණ්ඩත්වයන් ට ගොදුරුවීම් විඳදරා ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික, සංස්කෘතික, තාක්ෂණික, වෘත්තීය හා දේශපාලන සංවර්ධනය තුළ පැවති හා වර්තමානයේ පවතින ප්‍රජා නියෝජනය හා නොමසුරු දායකත්වය පෙන්වා දෙයි.

යටත් විජිත නීති සහ පසමිතුරු දේශපාලන සංස්කෘතියේ උත්ප්‍රේරණය තුළ ලිංගික දිශානතිය (sexual orientation), ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවය (gender identity) හෝ ප්‍රකාශනය (gender expression) මත නිරන්තරයෙන් සමච්චලයට ලක්කිරීම, අපයෝජනය කිරීම, සිරගත කිරීම හෝ අමානුෂික අන්දමින් ඝාතනයට ලක්කිරීම ආදී කරුණු මත පීඩිත හා ආන්තික ජන කොට්ඨාශයක් බවට පත්ව තිබෙන LGBTIQ+ ප්‍රජාව වෙනස්කොට සැලකීම, කොන්කොට සැලකීම හා ප්‍රචණ්ඩත්වයෙන් තොර මානව හිතවාදී හා සංවේදී වූ සමාජ ක්‍රමයක් තුළ ප්‍රමාණාත්මක හා ගුණාත්මක සෞඛ්‍ය සේවා, ගෞරවණීය රැකියා අවස්ථා, යහපත් අධ්‍යාපනය, ආරක්ෂිත නිවාස හා ස්වභාවික යුක්තිය ලබා ගැනීමේ අයිතිය තුළ ගෞරවණීය පුරවැසියන් මෙන් ජීවත් වීමේ අයිතිය සියළු ජනාධිපතිවරණ අපේක්ෂකයින් ගෙන් ඉල්ලා සිටියි.

ඔවුන් අවධාරණය කර සිටින්නේ ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට යොමුවීමට සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ සාධාරණ ලෙස සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමට, රැකියාවක නිරත වීමට හා රැකියා තුළ ප්‍රජා දායකත්වය ඇගයීමට ලක්වීමට, එකී දායකත්වය තුළ පූර්ණ ප්‍රතිලාභ ලැබීමට, එමඟින් සිය පූර්ණ හැකියාවන් කරා ලඟා වීමට, සෞඛ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීමට සහ ගෞරවණීය සේවාවක් ලබා ගැනීමට, නෙරපා දැමීමකින් හෝ නින්දාවට පත්වීමකින් තොරව සිය අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට, තම පෞද්ගලික ජීවිතය සුරක්ෂිත වටපිටාවක් තුළ ආදරණීයයන් සමඟ භුක්ති විඳීමට අයිතියක් පවතින බවයි.

එමෙන්ම එළඹෙන මැතිවරණයන් අභියස LGBTIQ+ ප්‍රජා කණ්ඩායම් වලට එරෙහි වෛරී සහගත ප්‍රකාශ මාධ්‍ය තුළ හා ඉන් පිටත නිතර ඇසෙන බවට පෙන්වා දෙන එම ප්‍රජාව, එකී වෛරය ප්‍රවර්ධනය වන අන්දමේ ප්‍රකාශ නිකුත් කිරීමකින් තොරව සාධාරණ හා විනයගරුක ඡන්ද ව්‍යාපාරයක් ගෙන යාමට කටයුතු කරන මෙන්ද, මැතිවරණය පිළිබඳ පළවන ප්‍රවෘත්ති වාර්තාකරණය තුළ අපක්ෂපාතී වාර්තාකරණයක් සිදුකරන මෙන්ද සියළු දේශපාලන ක්‍රියාකරුවන් ගෙන් හා මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටියි.

අපරාධ නඩුවල චූදිතයින් හෝ දූෂිත දේශපාලකයින් හට සහයෝගය පළ නොකරන මෙන්ද, LGBTIQ+ ප්‍රජාවේ ආරක්ෂාව සහ සමානාත්මතාවය පිළිබඳ සහතික විය හැකි මානව අයිතිවාසිකම් පිළිබඳ සංවේදීතාවයක් දක්වන ජනපති අපේක්ෂකයකු හට තම මනාපය පළකරන මෙන්ද එම ප්‍රජාව සියළු LGBTIQ+ සහ LGBTIQ+ සහයෝගී ප්‍රජාවන් ගෙන් ඉල්ලා සිටියි.

මෙකී ආයාචනය ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ LGBTIQ+ ප්‍රජා හා ප්‍රජා සහයෝගී සංවිධාන, ස්වාධීන මානව හිමිකම් ක්‍රියාකාරීහු සහ LGBTIQ+ ප්‍රජා සාමූහික පෙළගැසී සිටිති.

(LNW)