Tuesday, October 22, 2024
Follow Us
නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ තාවකාලික භාරකරුට පහර දීමක්

මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානය තාවකාලිකව රැක බලා ගන්නා තමන් වෙත තරුණයෙකු පැමිණ‍ ඊයේ (01) සවස පහරදුන් බව විහාරයේ තාවකාලික භාරකරු කැළුම් බංඩාර තරුණයා පවසා ඇත.

කැළුම් බංඩාර පවසා ඇත්තේ විහාරස්ථාන භූමියේ පවතින කෝවිලේ පුජාවක් වෙනුවෙන් පැමිණි කණ්ඩායමක තරු‍ණයෙකු වෙත එලෙස පහරදුන් බවයි.

විහාරස්ථානය වෙත ට්‍රැක්ටර රථයක පටවාගෙන කිසියම් දේව පිළිමයක් කණ්ඩායමක් විසින් රැගෙන පැමිණි බවත් එහිදි තමා විහාරස්ථානයේ තාවකාලික භාරකරු වශයෙන් සිද්ධිය සම්බන්ධයෙන් විමසීම සිදුකළ බවත්, අදාළ පැමිණි පිරිස කුමක් සිදුකරන්නේද යන්න සම්බන්ධයෙන් තමාගේ ජංගම දුරකථනයෙන් ජායාරූප හා විඩියෝ ගැනීමත් සිදුකළ අවස්ථාවේ පැමිණි කණ්ඩායමෙන් කෙනෙකු තමන් වෙත පහරදීම සිදුකළ බවත් තරුණයා පවසා ඇත.

අදාළ පිරිස පහරදීම සම්බන්ධයෙන් තමාට පැමිණිළි කිරීමට මුලතිව් පොලිසිය දක්වා ගමන් කිරීමට සිදුව ඇති අතර, තනිව සිටින තමන් වෙත මුලතිව් දක්වා ගමන් කළ නොහැකි තත්වයක් පවතින බවද හෙතෙම අප වාර්තාකරුට පවසා ඇත.

මග රැක සිට අදාළ පිරිස තමාට පහරදෙතැයි තමන් බියෙන් පසුවන බවද හෙතෙම සඳහන් කර තිබේ.

මීට පෙර අවස්ථාවකදී උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටි.රවිහරන් මහතා ඇතුළු පිරිසක්ද තමන්ට තර්ජනය කළ බවද තරුණයා පවසා ඇත.

(Lanka Leads)