Tuesday, October 22, 2024
Follow Us
එල්.ටී.ටී.ඊය යළි ඕනෑ කියූ විජයකලාට එරෙහිව කි‍්‍රයාමාර්ග ගන්න අධිකරණය නීතිපති උපදෙස් පතයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි පිහිටුවිය යුතු යැයි රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් කළ ප‍්‍රකාශයට අදාළව ගොනු කර ඇති නඩුව ලබන දෙසැම්බර් මස 13 දා කැදවීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරනය අද නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කොට ඉදිරි නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇති බවත් එහෙත් මෙතෙක් ඊට උපදෙස් ලැබී නොමැති බවයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.

ඒ අනුව මෙම නඩුව සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ලබා දෙන ලෙසට නීතිපතිවරයා වෙත සිහිකැදවීමක් නිකුත් කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළා.

මෙම ප‍්‍රකාශය තුළින් දණ්ඩ නීති සංග‍්‍රහයේ වරදක් සිදු කිරීමේ චෝදනාවට අත් අඩංගුවට ගත් මහේෂ්වරන් මහත්මිය මේ වන විට ඇප මත මුදාහැර සිටිනවා.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සැකකරුවකු ලෙසට නම් කොට දණ්ඩ නීති සංග‍්‍රහයේ 120 වගන්තිය ප‍්‍රකාරව පසුගිය වසරේ ඔක්තොම්බර් මස 8 දින පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කර තිබුණා.

(Neth)