Wednesday, May 15, 2024
Follow Us
"ගෝල්ඩන් කී" නඩුව සමථයකට පත් කරගන්න නීතිපතිට ඉල්ලීමක්

සෙලින්කෝ සමුහ ව්‍යාපාරයට අයත්ව තිබු ගෝල්ඩන් කී සමාගමේ තැන්පතුකරුවන්ගේ රුපියල් ලක්ෂ 720කට අධික මුදලක් සාවද්‍ය හා සාපරාධි අයුරින් පරිහරණය කිරීමේ නඩුව සමථයකට පත් කර ගැනීම සඳහා එහි විත්තිකරුවන් විසින් නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ගෝල්ඩන් කී සමාගමේ සභාපති ලලිත් කොතලාවල, සිසිලියා කොතලාවල ඇතුළු අධ්‍යක්ෂකවරුන් 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

අද (30) දිනයේදී මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැදි මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ මුදල් යලි ගෙවීම සඳහා අරමුදලක් පිහිටුවා ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීම සඳහා නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවට ප්‍රකාශ කර සිටියා.

ගෝල්ඩන් කී සමාගමේ මුදල්, සභාපති ලලිත් කොතලාවල, සිසිලියා කොතලාවල ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින්ගේ පෞද්ගලික දේපළ එකතු කොට පිහිටුවන මුදලින් තැන්පතුකරුවන්ට ගෙවීමට තිබෙන මුදල් සැලකිය යුතු ප්‍රමාණයක් ගෙවීමට හැකි බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට සහ නඩුව සමථයකට පත් කිරීම සඳහා නීතිපතිවරයා ගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවයි මෙහිදී නීතිඥවරුන් ප්‍රකාශ කර සිටියේ.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් ප්‍රකාශ කර සිටියේ ඉතා මෑතකදී එම ඉල්ලීම නීතිපතිවරයා හමුවේ සිදුකර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් නිසි කරුණු අධ්‍යයනයක් කිරීමට කාලය අවශ්‍ය බවයි.

ඒ අනුව නඩුව 2020 වර්ෂයේ පෙබරවාරි මස 19 වෙනිදා යලි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි දින නියම කරනු ලැබුවා.

(Neth)