Tuesday, October 22, 2024
Follow Us
උතුරේ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීමේ අවදානමක්… ආරක්ෂා කරගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්න -ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

උතුර නැගෙනහිර පිහිටි බෞද්ධ සිද්ධස්ථාන කඩා බිඳ විනාශ කිරීමට නොදී රැකබලා ගැනීමට අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙසට ජනාධිපති ඇමැතිවරු ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු වී ඇත. වෘත්තීය නීතිඥයකු වන දර්ශන වේරගොඩ ඊයේ (28වැනිදා) මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේය.

ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් ඉල්ලන දේශපාලන පක්ෂ කීපයක් එකතුව දින කීපයකට උඩදී ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කළ ඉල්ලීම් 13ට උතුර නැගෙනහිර පිහිටි සියලුම බෞද්ධ ආගමික ස්ථාන සහ පුරාවිද්‍යා ස්ථාන ඉවත් කළ යුතු යැයි ඉල්ලීමක්ද ඇතුළත් කර ඇත.

අනාගතයේදී එවැන්නක් සිදුවීමේ අවදානමක් ඇති බවත්, එනිසා ඒවා ආරක්ෂාකර ගැනීමට කල්තියා පියවර ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමු කිරීම සඳහා තමා මෙම නීතිමය පියවර ගත් බවත්​ පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇත. ආරක්ෂක ධුරය දරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙම පෙත්සමේ 01 වැනි වගඋත්තරකරු ලෙස නම්කර ඇත.

බුද්ධශාසන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා නිවාස ඉදිකිරීම් ඇමැති ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස යන අයද වගඋත්තරකරුවන් ලෙස පෙත්සමේ නම්කර තිබේ. පෙත්සම්කරු කියා සිටින්නේ එම ඇමැති ධුර දරන තිදෙනාටම රටේ බෞද්ධ ආගමික සිද්ධස්ථාන හා පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීමේ වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පැවරී ඇති බවයි.

යුද හමුදාපති ලුතිනන් ​ෙජනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, උප්පුවේලි පොලිස් ස්ථානාධිපති ගයාන් ප්‍රසංග, මුලතිව් පොලිස් ස්ථානාධිපති සේනාධිපති ද සිල්වා, ඕමන්ත පොලිස් ස්ථානාධිපති, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල සහ නීතිපති, පෙත්සමේ සෙසු වගඋත්තරකරුවෝ වෙති.

(Lanka Leads)