Tuesday, October 22, 2024
Follow Us
මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් වෝහාරික විගණන පරීක්ෂණයක්

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් වෝහාරික විගණන පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා ඇති බව නීතිපතිවරයා අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ දැනුම් දුන්නේය.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් හත් දෙනකුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී රහස් පොලිසියේ වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණී ගිරිහාගම මෙනවිය කරූණු දක්වමින් 2015 වසරේ පෙබරවාරි මස 27 වන දා සිදු වූ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෝහාරික පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බව දැනුම් දුන්නාය. ඊට අමතරව පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධිත සමාගමක් වන ඩබ්ලිව් .එම් .මෙන්ඩිස් සමාගමේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් ද පුළුල් විමර්ශනයක් සිදුකිරීමට පියවර ගෙන ඇති බවද රජයේ නීතිඥවරිය වැඩිදුරටත් අනාවරණය කර සිටියාය.

වැඩි දුරටත් කරුණු දැක්වූ රජයේ නීතිඥවරිය ප්‍රශ්න ගත මහබැංකු බැඳුම්කර නිකුතුවේ දී සිදු වූ බව කියන වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද අංශ ගණනාවකින් පරීක්ෂණ සිදුකරන බව දන්වා සිටියාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පැමිණිල්ල නැවත මාර්තු මස 03 වන දා කැඳවන ලෙස නියෝග කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද රහස් පොලිසිය වෙත නියෝග නිකුත් කළාය.

(Aruna)