Tuesday, October 22, 2024
Follow Us
ISIS නායකයගේ ඝාතනයෙන් පසු ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීම් - ආරක්ෂක අංශ සීරුවෙන්

ඇමරිකානු හමුදා විසින් උතුරු සිරියාවේ කළ මෙහෙයුමකදී ISIS නායක අබු බකර් අල් බග්දාදී ඝාතනය වී ඇති බවට වාර්තා වීමෙන් පසු එම මතධාරීන් අතර කැළඹීමක් ඇතිව තිබෙන හෙයින් ඔහුගේ අනුගාමිකයන් විසින් කුමන හෝ ආකාරයක ප්‍රතිපහාර එල්ලවීමේ අවධානමක් මතුව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවටද අනතුරු ඇඟවීම් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසු ඉස්ලාම් අන්තවාදී හැසිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ද තර්ජනයක් පවතින හෙයින් තවදුරටත් ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

මේ වන විට සියළුම පොලිස් ස්ථානවලට රතු නිවේදන යොමුකර ඇති බවත් පොලිස්, හමුදා ඇතුළු බුද්ධි අංශ දැනුවත් කර ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමට දැනුවත් කර ඇති බවත් වාර්තා විය.

දේශපාලනික වශයෙන් ඉතා වැදගත් සංධිස්ථානය පසුවන මොහොතක කුමන ආකාරයක හෝ අනතුරුදායක දෙයක් සිදුවුවහොත් එය දේශපාලනික කැළඹීමක් වන හෙයින් රට පුරා ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයකින් පසුවන ලෙස අදාළ අංශ වෙත වැඩිදුරටත් උපදෙස් ලැබී ඇති බවයි කියවුණේ.

(LNW)