Tuesday, October 22, 2024
Follow Us
ආණ්ඩුව ඇතුලෙ තව ආණ්ඩුවක්, නීතිය ඇතුළෙ තව නීතියක් - ඥානසාර හිමි

මේ වනවිට ආණ්ඩුව ඇතුළත වෙනම ආණ්ඩුවක් බිහි වී ඇති බවත් නීතිය ඇතුළේ තවත් නීතියක් ක්‍රියාත්මක වන බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි. මෙම තත්ත්වය ලබන මාසයේදී වෙනස් කිරීමට රටේ බහුතර ජනතාව කටයුතු කරනු ඇති බවයි ඥානසාර හිමි පවසන්නේ.

ඥානසාර හිමි මේ බව සඳහන් කළේ ඊයේ (23) රාජගිරියේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

හිර ගෙදර ගොස් පැමිණි තමන්ට නැවතත් එම ගමන යාම මහ වැඩක් නොවන බවත්, මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයේ ගැටලුවට මැදිහත්වීම හේතුවෙන් තමන් නැවතත් උසාවියට කැඳවා ඇති බවත් ඥානසාර හිමි පවසනවා. මෙම ගැටලුවට වගකිව යුතු පාර්ශ්වයන් නිදහසේ සිටියදී ජාතිය වෙනුවෙන් බුදුදහම වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් උසාවියට ගාල් කරන තත්වයට අද රට පිරිහී ඇති බවද උන්වහන්සේ පවසනවා.

මෙවැනි ජාතික කටයුතුවලට පෙනී සිටීම සම්බන්ධයෙන් පැවරෙන නඩුවලදී අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බවත්, මහා සංඝරත්නය සමග සාකච්ඡා කිරීමෙන් පසු අධිකරණය ඉදිරියේ පෙනී සිටීම සම්බන්ධයෙන් සලකා බලන බවත් ඥාසාර හිමි අවධාරණය කරයි.

'ජාතික කටයුතු සම්බන්ධයෙන් සිදු කරන මැදිහත්වීම්වලදී නීතිය ක්‍රියාත්මක වන ආකාරයේ වෙනසක් තිබෙන බව පැහැදිලියි. විශේෂයෙන් ගුරුකන්ද විහාරස්ථානය සම්බන්ධ ප්‍රශ්නයේදී උතුරු නැගෙනහිර තියෙන්නෙ වෙනම නීතියක්ද කියලා හිතෙන තත්ත්වයට ප්‍රශ්නය බරපතලයි. නීතිය මේ ආකාරයෙන් වෙනස් වීම ගැන තියෙන්නෙ ලැජ්ජාවක්. ඒ වගේම දුකක්.' යනුවෙන් ඥානසාර හිමි වැඩිදුරටත් පවසනවා.

(LNW)