Tuesday, October 22, 2024
Follow Us
රටේ ගෑස් හිඟයක්! නව තොග පැමිණීම සතියකින් කල් යයි!

මේ වනවිට රට පුරා ගෘහස්ත ගෑස් හිඟයක් ඇති වී තිබෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පෙන්වා දෙනවා. මෙම හිඟය තවත් සතියක පමණ කාලයක් පැවතිය හැකි බවත්, රටට නව ගෑස් තොග පැමිණීමට සතියක් පමණ ගතවිය හැකි බවත් එම අධිකාරිය පෙන්වා සඳහන් කරනවා.



පාරිභෝගික සේවා අධිකාරිය පවසන පරිදි මෙම හිඟයට හේතු වී තිබෙන්නේ නියමිත කාලසීමාව තුළදී ආනයනික ගෑස් තොග රට තුළට නොපැමිණීමයි. සෞදි අරාබියේ ඛනිජ තෙල් නිෂ්පාදන කම්හල් වෙත එල්ල වූ ත්‍රස්තවාදීන්ගේ ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් මෙම ප්‍රමාදවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. එම ප්‍රහාරය නිසා ගෑස් තොග නැව්ගත කිරීම ප්‍රමාද වී ඇති අතර කෙසේ වෙතත් තවත් සතියක් තුළදී එම තත්වය සමනය වනු ඇති බවයි පාරිභෝගික සේවා අධිකාරිය පෙන්වා දෙන්නේ.

මීට අමතරව පසුගිය 04 වැනිදා මධ්‍යම රාත්‍රියේදී සැලකිය යුතු ප්‍රමාණයකින් ගෑස් මිල පහත හෙළීමට රජය කටයුතු කළ අතර ඒ අනුව සාමාන්‍ය ජනතාවගේ ගෑස් පරිභෝජනය ඉහළ ගොස් ඇති බවත්, හදිසි ගෑස් හිඟයට එයද හේතුවක් වී ඇති බවත් වාර්තා වෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසන්නේ, මෙම හිඟය කෘත්‍රිම ඇතිකළ හිඟයක් බවයි. ගෑස් මිල අඩු කිරීම හේතුවෙන් ගෑස් අලෙවිකරුවන් විසින් ගෑස් තොග සඟවා කෘත්‍රිම හිඟයක් මවා ඇති බව එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

වෙළඳපොළට නිකුත් නොකර ගෑස් තොග සඟවාගෙන සිටින ගෑස් අලෙවිකරුවන් පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙස රංජිත් විතානගේ මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

(LNW)