Thursday, May 02, 2024
Follow Us
ගුරුකන්දේ භික්ෂූන් වහන්සේලා දෙනමට හා භාරකරුට මරණ තර්ජන – දායක සභාව මානව හිමිකම් කොමිසමට

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ අර්බුදයට මෙතෙක් පැහැදිලි විසඳුමක් නොලැබීමට එරෙහිව එම විහාරථානයේ දායක සභාව අද (21 වැනිදා) කොළඹ මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි.

ගුරුකන්ද විහාරස්ථ දායක සභාවේ ලේකම් මානෙල් කරුණාරත්න මහතා පැවසුවේ රජයේ වගකිවයුතු අංශ හා පොලිසිය විසින් මේ විහාරස්ථානයේ අර්බුදය සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා නොදීම නිසා විහාරස්ථානයේ අනගතය පිළිබඳව විශාල අනතුරක් පවතින බවයි.

විහාරස්ථානයේ ඓතිහාසිකභාවය පිළිබඳව අවශ්‍ය තරම් තොරතුරු ඉදිරිපත් කොට තිබියදී පිරිසක් පැමිණ විහාරස්ථානයේ ඉඩම ඩෝසර් කළ බවත් විහාරස්ථානයේ වැඩ සිටින භික්ෂූන් වහන්සේලා දෙනමට හා භාරකරුට මරණ තර්ජන එල්ල කළ බවත් ලේකම්වරයා සඳහන් කළේය.

මේ තර්ජන නිසා විහාරස්ථානයේ ආරක්ෂාවට සවි කරන ලද සීසීටීවී කැමරා පද්ධතිය මුලතිව් පොලිසියේ නිලධාරීන් විසින් ගලවා දැමූ බව කී මානෙල් කරුණාරත්න මහතා මේ සියලූ කාරණාවලට සාධාරණයක් ඉල්ලා මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට තීරණය කළ බව ද පැවසීය.

Divaina