Sunday, April 28, 2024
Follow Us
ISIS සබඳතා පැවැත්වූ 127ක් ඉන්දියාවේදී අත්අඩංගුවට - සහරාන්වාදීන් කිහිපදෙනෙක්ද ඒ අතර

ISIS සබඳතා ඇති පුද්ගලයන් 127 දෙනකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති අතර පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොලකරුන් වූ සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ කණ්ඩායමක්ද සිටින බව Times of India පුවත් ඒජන්සිය පවසයි.

ඉන්දීය ජාතික විමර්ශන අංශයේ ප්‍රධානී ආලෝක මිත්තල් මහතා පවසන්නේ ප්‍රාන්ත 14කදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.

ඉන්දියාවේ ත්‍රස්ත විරෝධී ඒජන්සියේ පැවති සමුළුවකට සහභාගිවෙමින් ඔහු මේ බව පවසා තිබේ.

තමිල්නාඩු ප්‍රාන්තයේදී සැකකරුවන් 33 දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබෙන අතර උත්තර් ප්‍රදේශ්හිදී 19 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. කේරළයෙන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තෙලන්ගනා ප්‍රාන්තයෙන් 14 දෙනෙක් අතින් ඇති බවත් මිත්තල් මහතා පවසා ඇත.

කේරළයේදී අත්අඩංගුවට පත සැකකරුවන් අතරින් තිදෙනෙක් ඉස්ලාමීය අන්තවාදයට යොමු වී ඇත්තේ සහරාන් හෂීම්ගේ වීඩියෝ නැරඹීමෙන් බවද අනාවරණ කරගෙන තිබේ.

මේ අතර සකීර් නායික් නැමති ඉස්ලාමීය දේශකයාගේ බලපෑමෙන් ඉස්ලාමීය අන්තවාදයට සෙස්සන් යොමු වී ඇති අතර සකීර් නායික්ට සහ ඔහුගේ සංවිධානය වන ඉස්ලාමීය පර්යේෂණ පදනමට එරෙහිව නඩු පවරා ඇති බවද ඉන්දීය ජාතික විමර්ශන අංශයේ ප්‍රධානී ආලෝක මිත්තල් මහතා ආවධාරණය කරයි.

(LNW)