Monday, April 29, 2024
Follow Us
රාජිත සහ එස්. බී. ඉදිරි රජයක ඉන්න බෑ..! රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සජිත්ට – ගෝඨාට වාර්තාවක්

රටේ අධ්‍යාපනය, පරිසරය, සෞඛ්‍ය, ආර්ථිකය ඇතුළු ස්ථාවරව පැවැතිය යුතු පද්ධති බිඳ දැමීමේ ඒජන්තවරුන් ලෙස කටයුතු කරන රාජිත සේනාරත්න හා එස්. බී. දිසානායක යන මහත්වරුන් ඉදිරියේ පිහිටුවන රජයක නොසිටිය යුතු බවට පැහැදිලි කරමින් ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාටම වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව රජයේ ද්‍යෛ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ මහතා ඊයේ (14 වැනිදා) පැවසීය.

මේ වනවිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සකස් කරන ලද යෝජනා 20 කින් යුත් යෝජනාවලියක් ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් 35 දෙනාටම ඉදිරිපත් කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරණයේදී ජයග‍්‍රහණය කළ හැකි තත්ත්වයෙන් සිටින ගෝඨාභය රාජපක්‍ෂ සහ සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් සමග ඉදිරියේදී සාකචඡා කිරීමට නියමිත බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ ඊයේ (14 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අලූත්ගේ මහතා පැවසීය.

උසස් පෙළ විෂයන් තුනම අසමත් අවම වශයෙන් ජීව විද්‍යා විෂයවත් හදාරා නැති ප‍්‍රමිතියෙන් තොර පිරිසක් වෛද්ව‍යරුන් කිරීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති සයිටම් ආයතන 05 ක් බිහිකරන බවට ප‍්‍රකාශ කරන විට එවැනි ප‍්‍රමිතියෙන් තොර ආයතන 10 ක් විවෘත කරන බවට ප‍්‍රකාශ කරන එස්. බී. දිසානායක වැනි පිරිසක් ඉදිරි අමාත්‍ය මණ්ඩලයක නොසිටිය යුතු බවට ජනතාව දැනුවත් කරන බවද අලූත්ගේ මහතා කීය.

නිදහස් අධ්‍යාපනයේ වරප‍්‍රසාද මත උසස් අධ්‍යාපනය ලබා නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඇමැතිවරුන් ලෙස කටයුතු කරන සහ කළ රාජිත සේනාරත්න සහ එස්. බී. දිසානායක යන මහත්වරුන් ගැන ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා දරන මතය රටට හෙළි කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවින්ද සොයිසා මහතා ද අදහස් දැක්වීය.

(Lanka Leads)